බ්‍රසීල ජනපතිනියට එරෙහි දෝෂාභියෝගයට මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය

Published

බ්‍රසීලයේ ජනාධිපතිනිය දිල්මා රූසෙෆ්ට එල්ල වූ රජයේ ගිණුම් තොරතුරු තමන්ට වාසිදායක ලෙස වෙනස් කිරීමේ චෝදනා හේතුවෙන් ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාවට පහළ මන්ත්‍රී මණ්ඩලය සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

බ්‍රසීලයේ අගනුවර පහළ මන්ත්‍රී මණ්ඩලයේ පැවති දීර්ඝ සාකච්ඡා අවසානයේ දෝෂාභියෝගය වෙනුවෙන් පක්ෂව තුනෙන් දෙකක් ඡන්ද ප්‍රකාශ විය.

ඒ අනුව දෝෂාභියෝග යෝජනාව සෙනෙට් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එළඹෙන මාසයේ පවත්වන නිල විභාගයේදී දිල්මා රූසෙෆ් ජනාධිපති ධුරයෙන් ඉවත් වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

කෙසේ වෙතත් 2014 වසරේ මැතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් තමන් රජයේ ගිණුම් තොරතුරු වෙනස් කළ බවට එල්ල වන චෝදනා ජනාධිපතිනිය දිල්මා රූසෙෆ් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

මේ වන විට ජනාධිපතිනියට එල්ල වී ඇති පීඩනය හමුවේ නොවෙනස්ව ඇය වෙනුවෙන් පෙනී සිටින බවයි බ්‍රසීලයේ ආණ්ඩු බලය හිමි කම්කරු පක්ෂය ප්‍රකාශ කර තිබෙන්නේ.

බ්‍රසීල පහළ මන්ත්‍රී මණ්ඩලයෙන් දෝෂාභියෝග යෝජනාවක් සම්මත කර සෙනෙට් සභාව වෙත ගෙන යාමට අවශ්‍ය වන්නේ ඡන්ද 342ක ප්‍රමාණයක් පමණක් වන නමුත් දිල්මා රූසෙෆ්ට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 367ක් හිමි විය.

ඒ අනුව ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත දෝෂාභියෝග යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුවහොත් විභාගයක් පවත්වා දිල්මා රූසෙෆ් ජනාධිපති ධුරයෙන් ස්ථිර වශයෙන්ම ඉවත් කෙරෙන අතර එම ක්‍රියාවලිය අතර තුර දෙවරක් ඒ වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ඇයට අවස්ථාව හිමි වෙයි.