ඉන්දියාවේ රාජස්තාන් ඉතිහාසයේ ඉහළම උෂ්ණත්වයේ

Published

ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ උෂ්ණත්වය ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වන සෙන්ටිග්‍රේඩ් අංශක 51 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට ප්‍රථම වැඩිම උෂ්ණත්වය වන අංශක 50.6 වාර්තා වී තිබුණේ 1956 දීය.

මෙම අධික උෂ්ණත්ව තත්වය බොහෝ උතුරු ඉන්දියානු ප්‍රදේශ වලට බලපා ඇති අතර සති ගණනක් තිස්සේ අංශක 40 කට වැඩි උෂ්ණත්වයකුයි පැවතුනේ.

ඉන්දියාවේ මෝසම් වැසි කාලගුණයට පෙර සති කිහිපයක් උෂ්ණත්වය ඉහල යාම සාමාන්‍ය තත්වය වුවද ජීවිත හානි සිදුවීමට තරම් ඉහළ උෂ්ණත්වයක් වන 50C දක්වා ඉහල යාම ඉතාමත් අසාමාන්‍ය බවයි පැවසෙන්නේ.

ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ බී පී යාදෙව් AFP පුවත්සේවයට පැවසුවේ වාර්තා කිරීම ඇරඹු දා සිට අද දක්වා පැවති කාලය තුළ වැඩිම උෂ්ණත්වය වූ අංශක 51 වාර්තා වූයේ බ්‍රහස්පතින්දා බවයි.

මෙම සති අන්තය තුළදී ද උතුරු හා බටහිර ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් තුළ අධික උෂ්ණත්ව තත්වයක් ඇතිවන බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට අනතුරු අඟවා ඇත්තේ.

ඉන්දියාවේ සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය වසරට වඩා අංශක 5 කින් ඉහළ යාම හේතුවෙන් රජය මගින් කල්තියා දැනුම් දී තිබුණේ අධික උෂ්ණත්ව තත්වයක් ඇතිවන බවටයි.

දකුණු ඉන්දියාවේ තෙළඟනා සහ ආන්ද්‍රා ප්‍රාන්ත වල උෂ්ණත්වය හේතුවෙන් මරණ කිහිපයක් ද වාර්තා වී තිබුණි.

මෙම තත්වය සඳහා විසඳුමක් වන්නේ ජූනි මස මැද භාගයේ දී ඇද හැලෙන මෝසම් වර්ෂාව බවටයි බලාපොරොත්තු පළ කෙරෙන්නේ.