ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉර්මා කුණාටුව: ෆ්ලොරීඩාවේ සහන මෙහෙයුම් ඇරඹෙයි
ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්රාන්තයේ සහන කණ්ඩායම් ඉර්මා හරිකේන් කුණාටුවෙන් විපතට පත් වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ෆ්ලොරීඩාවේ බටහිර වෙරළ වෙත කුණාටුව පැමිණෙන විට එහි ප්රචණ්ඩත්වය අඩු වී තිබුණු නමුත් මයාමි සහ තදාසන්න ප්රදේශවලට ඉන් දැඩි හානි සිදුව ඇත.
ෆ්ලොරීඩා කීස් දූපත්වල "මානුෂීය අර්බුදයක්" පෙනෙන්නට ඇති බවට එහි ප්රාදේශීය ආපදා කළමනාකරණ ඒකකයේ ප්රධානියා අනතුරු අඟවා ඇත.
කුණාටුව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් සිව් දෙනෙකුවත් මරණයට පත්ව ඇති බවට වාර්තා පළ වේ.
හතර වෙනි ප්රභේදයේ කුණාටුවක් වශයෙන් ඉරිදා (සැප් 10) ෆ්ලොරිඩා වෙත හමා ආ ඉර්මා හරිකේන් කුණාටුව මේ වනවිට නිවර්තන කුණාටුවක් දක්වා පහළ දමනු ලැබ ඇත.
ඊට පෙරාතුව කැරිබියානු කලාපයේ රටවලදී ඉර්මා කුණාටුවට ගොදුරු වී අවම වශයෙන් 28 දෙනෙකුවත් මරණයට පත් විය.
මේ වනවිට ෆ්ලොරිඩා ප්රාන්තයේ නිවාස තිස් හතර ලක්ෂයකට අධික සංඛ්යාවකට විදුලිය නොමැත.
මයාමි නගරයේ 80% විදුලි රැහැන්වලට හානි සිදුව ඇති අතර විශාල කොටසක් ජලයෙන් යටවී තිබේ.
කෙසේ නමුත් සෙසු පළාත් හා සැසඳීමේ දී මයාමි නගරයට සිදුව ඇති හානිය තරමක අඩු බවක් දක්නට ඇත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ෆ්ලොරීඩා ප්රාන්තය තුළ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කරනු ලැබීය.
මේ අතර ඉර්මා කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් ගොඩ ඒම දැවැන්ත කර්තව්යයක් වනු ඇති බව කියුබාවේ ජනාධිපති රාවුල් කැස්ත්රෝ පැවසීය.
කුණාටුව හමුවේ එරට නිවාස, කෘෂිකර්මය, සහ විදුලි බල පද්ධතියට විශාල හානියක් සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඉර්මා කුණාටුවෙන් කියුබාවේ උතුරු වෙරළ තීරයට දැඩි හානි සිදු වූ අතර හවානා අගනුවර ජලයෙන් යට විය.
මේ අතර බටහිර අත්ලාන්තික් කලාපයට බලපෑ ජොසේ නමැති තවත් කුණාටුවක ප්රබලතාව දුර්වල වී ඇත.