ඔබත් ගුවන් සේවයක කාර්ය මණ්ඩලයට එක් වීමට සිහින දකිනවා ද? ඊට අවශ්‍ය සුදුසුකම් මෙන්න

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ගුවන් සේවාවක, ගුවන් සේවිකාවක හෝ ගුවන් සේවකයෙකු ලෙස සේවය කිරීමට වර්තමානයේ බොහෝ තරුණ පිරිස් උනන්දුවක් දක්වති.

ඒ හරහා බොහෝ රටවල්වල නොමිලේ ම සංචාරය කළ හැකි වීම මෙන් ම, ආකර්ෂණීය වැටුප් සහ වෙනත් ප්‍රතිලාභ ද හිමි වීම ඊට හේතු වී තිබේ.

ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන SriLankan ගුවන් සේවයට මෙන් ම ශ්‍රී ලාංකිකයන් බඳවා ගන්නා තවත් විදේශීය ගුවන් සේවාවන් කිහිපයකට ම අයැදුම් කිරීමේ හැකියාව පවතී.

අවශ්‍ය මූලික සුදුසුකම් මොනවා ද?

එක් එක් ගුවන් සේවාව අනුව ඒවායේ මූලික සුදුසුකම් වෙනස් වේ.

නමුත් ඔබ වසර 10ක අධ්‍යාපනය සම්පූර්ණ කර තිබීම, මනා ලෙස ඉංග්‍රීසි භාෂාව ලිවීමටත් කතා කිරීමටත් හැකි වීම ඔබ සතුව තිබිය යුතු ම සුදුසුකම් වේ.

මෙහිදී ඔබ බොහෝවිට සාමාන්‍ය පෙළ විභාගය ඉංග්‍රීසි භාෂාව ද සහිතව සමත් වී තිබීම අනිවාර්ය වේ.

ඇතැම් ගුවන් සේවාවන් ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම සහතික කර ගැනීම සඳහා ILETS වැනි භාෂා විභාගයක ප්‍රතිඵල ලේඛනයක් ඉල්ලා සිටිය හැකි ය.

එමෙන් ම ඔබට වෙනත් ජාත්‍යන්තර භාෂා කතා කිරීමට ඇති හැකියාව ඔබට මෙහිදී ප්‍රයෝජනවත් වනු ඇත.

එලෙස ඔබට ඉංග්‍රීසි සහ ඔබේ මව් භාෂාව හැර වෙනත් භාෂා සම්බන්ධයෙන් ඇති හැකියාව ඔබට අමතර වාසියක් විය හැකි ය.

ඔබ තරුණයෙකු වුවත්, තරුණියක වුවත් මෙම මූලික සුදුසුකම් ඔබට අනිවාර්යයෙන් ම තිබිය යුතු ය.

වයස සහ බාහිර සුදුසුකම්

SriLankan ගුවන් සේවයට සාමාන්‍යයෙන් බඳවා ගැනීම සිදු කරන්නේ, වයස අවුරුදු 18ත් 27ත් අතර අයදුම්කරුවන් ය.

නමුත් ශ්‍රී ලාංකිකයන්ව බඳවා ගනු ලබන වෙනත් බොහෝ විදේශීය ගුවන් සේවාවල බඳවා ගැනීමේ අවම වයස ලෙස වයස අවුරුදු 21 සටහන් වන නමුත් උපරිම වයසක් සඳහන් කර නොමැත.

එමෙන් ම ඔබ යහපත් ශාරීරික යෝග්‍යතාවකින් සිටිය යුතු අතර, ශරීර ස්කන්ධ දර්ශකය අදාළ ගුවන් සේවය බලාපොරොත්තු වන මට්ටමක පැවතිය යුතු ය.

ඔබට 'ජීවිතාරක්ෂක උපකරණ සහිතව' පිහිනීමට හැකි විය යුතු ය.

බොහෝ විදේශීය ගුවන් සේවා සඳහා ඔබ සිටගෙන දෑත් ඉහළට එසවූ විට සෙන්ටිමීටර් 212ක උසක් ඇල්ලීමට හැකියාව පැවතිය යුතු අතර, එය එක් එක් ගුවන් සේවයේ කාන්තා සහ පිරිමි අයැදුම්කරුවන් සඳහා වෙනස් වේ.

මෙම උස සලකා බැලීම එක් එක් ගුවන් සේවයෙන් ගුවන් සේවයට වෙනස් අතර, ඒවායේ ඇත්තේ අපේක්ෂකයාගේ උස අවම වශයෙන් සෙන්ටිමීටර් 158, 156 වැනි උසකට වඩා වැඩි වීම ය.

තව ද අදාළ ගුවන් සේවයේ නිල ඇඳුම ඇඳීමෙන් පසුවත් දර්ශනය වන පච්චා ආදිය ඔබේ ශරීරයේ නොතිබිය යුතු ය.

විදේශීය ගුවන් සේවා රැසක් විවාහක/අවිවාහකභාවය අයැදුම් කිරීමේදී නොසලකන නමුත්, ගුවන් සේවය ස්ථාපනය කර ඇති රටේ රැඳී සිටීමට ඔබට සිදුවේ.

එනම් කටාර් රාජ්‍යයේ ස්ථාපිත ගුවන් සේවයක් නම්, ඔබ අදාළ ගුවන් සමාගම ලබා දෙන ස්ථානයක කටාර් රාජ්‍යයේ රැඳී සිටිය යුතු ය.

රැකියා අත්දැකීම් සහ වෙනත් අවශ්‍යතා

ඔබට වසරක් හෝ ඊට වැඩි කාලයක් ආගන්තුක සත්කාර, පාරිභෝගික සේවා, ගුවන් සේවා හෝ, වෙනත් පාරිභෝගිකයන් සමග ඍජුව වැඩ කරන රැකියාවක අත්දැකීම් තිබීම ද වැදගත් වේ. එය ඇතැම් සමාගම් සඳහා අනිවාර්ය නොවන නමුත් එය ඔබට අමතර සුදුසුකමක් විය හැකි ය.

නිදසුනක් වශයෙන් ඔබ හෝටලයක් වැනි පාරිභෝගික සේවා සපයන ස්ථානයක වැඩ කර තිබීම මෙයින් අදහස් වේ.

එමෙන් ම, පාරිභෝගික සේවා සම්බන්ධයෙන් වන පුහුණු පාඨමාලා හදාරා තිබීම ද තවත් වාසියක් විය හැකි ය.

ඔබට වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් තිබිය යුතු අතර, රටවල්වලට යාමේදී බලපාන අපරාධ පිළිබඳ ඉතිහාසයක් නොතිබිය යුතු ය.

තවත් ගුවන් සමාගම්වල විමසා ඇති විශේෂ කරුණක් වන්නේ, අයැදුම්කරුවන් සිය රැකියාව අතරතුර ගුවන් මගීන්ට මත්පැන් පිළිගැන්වීම සඳහා කැමැත්තක් දක්වන්නේ ද? යන්න යි.

ඊට අයැදුම් කිරීමට නම් ඔවුන් අනිවාර්යයෙන් ම එම කොන්දේසියට එකඟ විය යුතු ය.

අයැදුම් කිරීම සහ සම්මුඛ පරීක්ෂණ

සාමාන්‍යයෙන් මෙම ගුවන් සමාගම් සඳහා ගුවන් සේවක සේවිකාවන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ නිල වෙබ් අඩවි තුළ දැන්වීම් පළ කරනු ලබයි.

එම නිල වෙබ් අඩවි හරහා ඔබගේ මූලික දත්ත ඇතුළත් කර අයැදුම්පත් යොමු කිරීමට ඔබට හැකි ය.

ඉන්පසුව ඔවුන් තෝරා ගන්නා අයැදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ එකකට හෝ, වට කිහිපයකට කැඳවිය හැකි අතර, එහිදී ඔබේ උස ඇතුළු බාහිර සුදුසුකම් පරීක්ෂා කරනු ඇත.

එමෙන් ම කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට ඇති හැකියාව, ප්‍රසන්න බව, ගැටලු කළමනාකරණය කර ගන්නා ආකාරය, තීරණ ගැනීමේ හැකියාව වැනි හැකියාවන් පිළිබඳව පරීක්ෂා කරනු ලබයි.

අවසන් සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන්නන් එම ගුවන් සමාගමේ පුහුණුව සඳහා සහභාගි විය යුතු අතර, එම පුහුණුව සාර්ථකව අවසන් කළහොත් පමණක් ඔබ අදාළ ගුවන් සේවයේ ගුවන් සේවකයෙකු හෝ ගුවන් සේවිකාවක ලෙස කටයුතු කිරීමේ හැකියාව හිමි වේ.