ආර්ථිකය අඩපණ කරන්න ඉඩ දෙන්න බැහැ -අගවිනිසුරු

Published

බියගම නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඇන්සල් ලංකා කර්මාන්ත ශාලාවේ සේවකයින් 294 දෙනෙකු ඉවත් කර ඒ වෙනුවට අලුත් සේවකයින් 223 දෙනෙකු බඳවා ගැනීමට එම සමාගම ගත් තීන්දුව අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

එම සේවක නෙරපීම් අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ අගවිනිසුරු මොහාන් පිරිස් ප්‍රකාශ කළේ වෘත්තිය අයිතිවාසිකම් වලට මුවා වී කරන, ආර්ථිකය අඩපණ කළ හැකි කටයුතු වලට අධිකරණයේ අනුමතියක් හිමි නොවන බවයි.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 294 දෙනෙකු ඉවත් කර ඒ වෙනුවෙන් සේවකයින් 223 දෙනෙකු අලුතින් බඳවා ගෙන ඇතැයි ඇන්සල් ලංකා සමාගම අධිකරණයට දැන්විය.

නමුත් මෙම සේවක ඉවත් කිරීම් වලට අදාළ පැමිණිලි මසක් ඇතුළත විභාග කර තීන්දුවක් ලබා දෙන මෙන් අධිකරණය කම්කරු විනිශ්චය සභාවට නියම කළේය.

මෙය සේවක පාර්ශවයට කිසියම් වාසි සහගත තීන්දුවක් බවයි නිදහස් වෙළඳ කලාප සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාකස් සංදේශයට කියා සිටියේ.