වතිකාන දූත පිරිසක් ශ්‍රී ලංකාවට

Published

ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන වතිකාන දූත පිරිස විසින් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බව ත්‍රිකුණාමලය රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ හිමිපාණෝ ප්‍රකාශ කරති.

ජනාධිපතිවරණය පවැත්වෙන දිනය පිළිබඳව දින නියම නොකලත් එය ජනවාරි මාසයේ පැවැත්වෙන බවටයි වාර්තා පලවන්නේ.

පාප් වහන්සේගේ සංචාරය යෙදී ඇත්තේත් ජනවාරි මාසයේ 13 වැනිදාට.

මේ හේතුවෙන් පාප් වහන්සේගේ සංචාරය ගැනත් සැක මුසු අදහස් පලවෙමින් තිබේ.

දින වකවානු

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ කතෝලික සභාවද සාකච්ජා කරමින් සිටින අතර ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ හිමිපාණන් බීබීසියට පැවසුවේ රජය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවමත් දින වකවානු දන්වා නැති බවයි.

“මේක ඇත්තටම අමාරු වගේම තීරණාත්මක අවස්ථාවක්. මේ වෙනකම් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ කවදාද කියල අපි දන්නේ නැහැ ”

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නොලැබුන බව පැවසූ උන්වහන්සේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන බව සඳහන් කළහ.

වතිකාන දූත පිරිස

පාප් වහන්සේගේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඔවුන් පාප් වහන්සේගේ සංචාරය සංවිධාන කිරීමේ වගකීම පැවරී සිටින කණ්ඩායම බවත් රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ හිමිපාණෝ තවදුරටත් ප්‍රකාශ කළහ.

එම කණ්ඩායම කතෝලික සභාව සමඟත් ජනාධිපතිවරයා සමඟත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව විසින් පාප් වහන්සේගේ සංචාරය පිළිබඳ අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළහ.