රග්බි තරඟ තීරකයන් 'බලපෑම් නිසා විශ්රාම ගන්නවා'

- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සිංහල සේවය
- Published
දිගින් දිගටම එල්ල වෙමින් තිබෙන දේශපාලන බලපෑම් හේතුවෙන් කලකිරීමට පත් වී සිටින ජ්යෙෂ්ඨ රග්බි තරඟ තීරකයන් ක්රීඩාවෙන් විශ්රාම ගනිමින් සිටින බව තරඟ තීරකයන්ගේ සංගමය පවසයි.
"බලපෑම් හින්ද තමයි ඒගොල්ල විශ්රාම යන්නේ," තරඟ තීරකයන්ගේ සංගමයේ සභාපති ඕවිල් ප්රනාන්දු බීබීසී සංදේශයට පැවසීය.
"දැන් කට්ටියම, ඔක්කොම විශ්රාම යනවා. පාලක සංගමේ කිසිම ක්රියාමාර්ගයක් ගන්නේ නැති නිසා තමයි, කට්ටිය මේ විශ්රාම යන්නේ. ඒ කියන්නේ ඊළඟ ක්ලබ් ටූනමන්ට් එනකොට මිනිස්සු නැති වෙනවා. කවුරුවත් එන්න ආස නෑ විනිශ්චයකාරකම කරන්න," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තරඟ තහනමක්
විශේෂයෙන්ම තරඟ තීරකයකුට පහර දීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිතට විරුද්ධව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පැවැත්වීමට අපොහොසත් වී තිබෙන බවට ඔහු රග්බි පාලක මණ්ඩලයට චෝදනා කළේය.
"ඒක විසඳන්න ඕන සංගමය. ඒක විසඳලා නෑ තවමත්," ඔහු පැවසීය.
අදාළ චෝදනාව පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පත් කළ සාමාජිකයෙක් දැනටමත් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙන බව පවසන ඔහු, මේ තත්ත්වය යටතේ පරීක්ෂණයට කුමක් සිදුවනු ඇත්දැයි තමන් ඇතුළු රග්බි විනිසුරුවන් බලා සිටින බවද සංදේශයට පැවසීය.
කෙසේ නමුත් තරඟ තීරක ද්මිත්රි ගුණසේකරට පහරදීමේ සිදුවීම සහ තරඟ තීරකයන්ගේ සංගමය විසින් ද්මිත්රි ගුණසේකරට මාසයක තරඟ තහනමක් පැණවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව සභාපතිවරයා අවධාරණය කරයි.
මෙම චෝදනා පිළිබඳව විමසීම පිණිස ශ්රී ලංකා රග්බි පාපන්දු සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න සහ ක්රීඩා අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.




























