ජගත් පාලක මණ්ඩලයේ සභාපති ශ්‍රී ලංකාවේ

දෙපාර්ශවය අතර මතභේදයක් පවතින අවස්තාවක ජගත් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීම කැපී පෙනෙන්නක්
ඡායාරූප ශීර්ෂ වැකිය, දෙපාර්ශවය අතර මතභේදයක් පවතින අවස්තාවක ජගත් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීම කැපී පෙනෙන්නක්
Published

ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මෑතදී තෝරාගන්නා ලද පාකිස්තානයේ හිටපු පිතිකරු සහීර් අබ්බාස් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියි.

නව පදවියට පත්වීමෙන් අනතුරුව සහීර් අබ්බාස් ටෙස්ට් ක්‍රීඩා කරන රටක සංචාරය කරන ප්‍රථම වතාව මෙයයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මෙන්, පසුගිය ජුනි මාසයේ බාබඩෝස් හිදී පැවැත්වුණු ජගත් පාලක මණ්ඩලයේ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු පාලක මණ්ඩලයේ සභාපති සිදත් වෙත්තමුණි සහීර් අබ්බාස්ට ආරාධනා කළ බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන්.

'ව්‍යවස්ථා විරෝධීයි'

ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක විසින් ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක් පත්කිරීම සිය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පවසන ජගත් පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලධාරීන් පත් කර ගැනීම පිණිස ඉක්මනින් නිලවරණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

සිදත් වෙත්තමුණි ගේ ප්‍රධානතත්වයෙන් අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත තීන්දුව ජගත් පාලක මණ්ඩලයේ විවේචනයට ලක් වී තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, සිදත් වෙත්තමුණි ගේ ප්‍රධානතත්වයෙන් අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත තීන්දුව ජගත් පාලක මණ්ඩලයේ විවේචනයට ලක් වී තිබේ

මතුව තිබෙන තත්වය යටතේ සිදත් වෙත්තමුණි බාබඩෝස් හි පැවති වාර්ෂික සමුළුවට සහභාගි වූයේ නිරීක්ෂකයකු ලෙසින් බවද ජගත් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

දෙපාර්ශවය අතර එවැනි මතභේදයක් පවතින අවස්තාවක ජගත් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීම කැපී පෙනෙන්නක්.

සහීර් අබ්බාස්, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඉරිදා පැවැත්වෙන තුන් වෙනි එක් දින ජාත්‍යන්තර තරඟයේ ප්‍රධාන ආරාධිතයාය.