වරාය උද්ඝෝෂණය විසුරුවා හැරෙයි

වරාය උද්ඝෝෂණය විසුරුවා හැරෙයි
Published

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විදෙස් සමාගමක් වෙත පවරා දීමට සැලසුමක් පවතින බවට චෝදනා කරමින් වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

වරාය සේවකයන්ගේ විරෝධතා පාගමන හේතුවෙන් ගාලු මුවදොර වටරවුම අවට ප්‍රදේශයේ මාර්ග වසා දැමුණු අතර උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කොට තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රහසිගත ලෙස ඉන්දියානු සහ ඇමෙරිකානු ඒකාබද්ධ සමාගමක් වෙත පවරා දීම සඳහා ආණ්ඩුව හෙට (පෙබ.02) ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බවට වරාය රැක ගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ චෝදනා කරයි.

"වරාය විකිණීමේ ක්‍රියාවලිය තීව්‍ර කරමින් CM Port නමැති චීන සමාගමට හම්බන්තොට වරාය අවුරුදු 198 කට පවරා දීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටි. ඊට අමතරව ත්‍රිකුණාමලය වරාය ද ඉන්දියාවට දීම සඳහා සැලසුම් සකස් කොට ඇත" යනුවෙන් එම පෙරමුණ විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

වරාය විරෝධතා
වරාය උද්ඝෝෂණය විසුරුවා හැරෙයි

ජාතික ආර්ථිකය හා සම්බන්ධ රාජ්‍ය සම්පත් විකුණා දැමීම තුළින් රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටීමට ලක්වන බව පවසන වරාය රැක ගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ ඒ හේතුවෙන් දසදහසක් පමණවන සමස්ත වරාය සේවකයින්ගේ රැකියා අහිමි වීමට ද ඉඩ ඇති බව පෙන්වා දෙයි.

කෙසේවෙතත් මේ පිළිබඳව බීබීසී කළ විමසීමකදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රතිචාරය වූයේ හෙට දිනයේදී එවැනි ගිවිසුමකට තමන් අත්සන් නොතබන බවය.