තොන්ඩමන් නාම පුවරු ඉවත් කිරීම: ඉන්දියාවේ අවධානය

ඡායාරූප මූලාශ්රය, Getty Images
අභාවප්රාප්ත සෞම්යමූර්ති තොන්ඩමන් හිටපු අමාත්යවරයාගේ නම සඳහන් පුවරු රජයේ ආයතනවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා ආණ්ඩුව සමග සාකච්ඡා කරන බව ඉන්දීය ආණ්ඩුව පවසයි.
ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් ඒ බව පවසන්නේ තමිල්නාඩු ප්රාන්තයේ විපක්ෂනායක එම්කේ ස්ටාලින් විසින් යොමු කරන ලද ලිපියකට සහ ට්විටර් පණිවුඩයකට ට්විටර් සමාජ ජාලය ඔස්සේ පිළිතුරු දෙමිනි.
ශ්රී ලංකා ආණ්ඩුව විසින් හිතුවක්කාරී ලෙස හිටපු අමාත්යවරයාගේ නම සඳහන් පුවරු රජයේ ආයතනවලින් ඉවත්කරනු ලැබ ඇති බව සිය දීර්ඝ ලිපියේ සඳහන් කරන තමිල්නාඩු ප්රාන්තයේ විපක්ෂනායකවරයා, එය විග්රහ කර තිබෙන්නේ "දැඩිව හෙලා දැකිය යුතු ක්රියාවක්" වශයෙනි.
එමගින් සෞම්යමූර්ති තොන්ඩමන් අමාත්යවරයා විසින් ශ්රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාවට කරන ලද සේවය නොතකා හරිනු ලැබ ඇති බව පවසන තමිල්නාඩුවේ විපක්ෂනායක එම්කේ ස්ටාලින්, එය වතුකරයේ වෙසෙන දෙමළ ජනතාවගේ හැඟීම්වලට අහිතකර බලපෑමක් එල්ල කරන්නක් බව ද වැඩිදුරටත් සඳහන් කරයි.
එම ක්රියාව මගින් ශ්රී ලංකා ආණ්ඩුව වතුකරයේ දෙමළ ජනතාව "බියගැන්වීමක්" කර ඇති බව ද ඔහුගේ ස්ථාවරය වී තිබේ.

ඡායාරූප මූලාශ්රය, Twitter

ඡායාරූප මූලාශ්රය, Twitter
එබැවින් ශ්රී ලංකා ආණ්ඩුව සමග සාකච්ඡා කර මේ කරුණ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීමට ක්රියාකරන මෙන් විපක්ෂනායකවරයා විදේශ අමාත්යවරියගෙන් ඉල්ලීමක් කර තිබේ.
එයට ප්රතිචාර දක්වන විදේශ අමාත්යවරිය, "අපි මේ කරුණ ශ්රී ලංකා ආණ්ඩුව වෙත යොමු කරනවා," යනුවෙන් සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබිණ.
සෞම්යමූර්ති තොන්ඩමන් හිටපු අමාත්යවරයාගේ නම ඇතුළත් පුවරු ඉවත් කිරීමට එරෙහිව ලංකා කම්කරු කොන්ග්රසයේ ආධාරකරුවෝ පසුගියදා හැටන් ප්රදේශයේ උද්ඝෝෂණවල ද නිරතව සිටියහ.
ඉන්දීය විදේශ ඇමතිවරියගේ ප්රකාශය පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ විදේශ කටයුතු පිළිබඳ රාජ්ය අමාත්ය වසන්ත සේනානායක කියා සිටියේ, කරුණු සොයා බලා ඉතා ඉක්මනින්ම ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන බවය.




























