'අපරාධවලට පරිගණක වගකිව යුතු නෑ'

ශ්රී ලංකාවේ වර්තමානයේ සිදුවෙමින් පවතින අපරාධවලට පරිගණක තාක්ෂණය වගකිව යුතු බවට ආණ්ඩුව ඉදිරිපත් කරන තර්කය එක්සත් ජාතික පක්ෂය ප්රතික්ෂේප කරයි.
විශේෂයෙන්ම හම්බන්තොට කටුවනදී කාන්තාවක සහ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව අත් අඩංගුවට ගෙන සිටින ජූලම්පිටියේ අමරේ ඇතුළු සැකරුවන්ට පරිගණකයක් භාවිතා කිරීම පිළිබඳව හෝ දැනුමක් තිබෙන්නේදැයි කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්ය හමුවක් ඇමතූ එජාප මන්ත්රී මංගල සමරවීර ප්රශ්න කළේය.
සමරවීර මන්ත්රීවරයා ඒ බව පැවසුවේ පසුගියදා මාධ්යවේදී ශාන්ත විජේසූරිය පැහැරගැනීමට තැත්කිරීම සහ ශ්රී ලංකා මිරර් ඇතුළු වෙබ් අඩවිවල සේවය කළ මාධ්යවේදීන් පිරිසක් අත් අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින්.
"මම ආණ්ඩුවෙන් අහනවා මේ ළමා අපචාර සම්බන්ධයෙන්, ස්ත්රී දූෂණ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත්ත ඒ චුදිතයන්ගෙන් කීදෙනෙකුට අඩුම ගානේ ඊමේල් ලිපිනයක් තියෙනවද කියල?" ඔහු විමසීය.
රටේ බොහෝ අපරාධවලට වගකිව යුත්තේ "නූගත්, ප්රාදේශීය මැරවරයන්" බවද මන්ත්රීවරයා අවධාරණය කළේය.
මේ අතර නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්රමබාහු කරුණාරත්න කියා සිටියේ, උද්ඝෝෂණ, අනුස්මරණ උත්සව සහ විරෝධතා ව්යාපාර පමණක් නොව අවමගුල් උත්සව පවා වාරණය කරමින් අධිකරණ නියෝග ගැනීම දැන් ආණ්ඩුවේ සම්ප්රදායය වී ඇති බව.
"දැන් රටේ නීති හදන්නේ පාර්ලිමේන්තුව නෙවෙයි, සාමාන්ය මහේස්ත්රාත්වරු පවා නීති හදන," බව ආචාර්ය කරුණාරත්න පවසයි.
පසුගියදා වවුනියාව බන්ධනාගාරයට පොලීසිය එල්ලකළ ප්රහාරයේදී මියගිය නිමලරූබන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්රමාද කිරීමද ඒකාබද්ධ විපක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.



























