ඇමැතිගේ 'අධිකරණ තර්ජනයට' එරෙහිව නීතිඥ වර්ජනයක්

Published

අධිකරණයේ නියෝග අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවමින් රජයේ අමාත්‍යවරයකු බලපෑම් කරන බවට චෝදනා නගමින්, උතුරේ උසාවි හතරක නීතිඥවරු වැඩ වර්ජනයක් දියත් කළහ.

ඔවුන්ගේ විරෝධය එල්ල වී ඇත්තේ කර්මාන්ත හා වාණිජ කටයුතු භාර අමාත්‍ය රිසාත් බදියුද්දීන් වෙතයි.

නඩු තීන්දුවක් ඉවත් කරගන්නා ලෙස බලකරමින් අමාත්‍ය බදියුද්දීන් මන්නාරම මහේස්ත්‍රාත් වරයා හට 18 වැනි බදාදා රාත්‍රියේ තර්ජනය කළ බවයි වවුනියාව, මන්නාරම, මුලතීව් හා කිලිනොච්චි නීතිඥ සංගම් වල චෝදනාව.

අමාත්‍ය වරයාගේ බලපෑම මන්නාරම මහේස්ත්‍රාත් අන්තෝනිපිල්ලේ ජූඩ්සන් විසින් නීතිපති වරයාටත් දැනුම් දී ඇති බවයි, නීතිවේදීන් සමග 19 වැනි බ්‍රහස්පතින්දා අධිකරණ භූමිය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදී සිටි වවුනියාව නීතිඥ සංගමයේ සභාපති වරයා ප්‍රකාශ කළේ.


වවුනියාවේ උසාවියට ගල් මුල් ගසා සිදු කළ හානියෙන්
ඡායාරූප ශීර්ෂ වැකිය, වවුනියාවේ උසාවියට ගල් මුල් ගසා සිදු කළ හානියෙන්

නීතිඥ සංගම් සභාපති ඇන්ටන් පුනිදනායගම් ප්‍රකාශ කළ පරිදි, ධීවර ගම්මානයකට පහර දී විනාශයක් සිදු කළ බවට සැක කැරෙන දහසය දෙනකු අත් අඩංගුවට ගැනීමට දුන් නියෝගයක් ඉල්ලා අස් කරගන්නා ලෙස බදියුද්දීන් අමාත්‍ය වරයා මන්නාරම මහේස්ත්‍රාත් වරයා ට දුරකතනයෙන් තර්ජනය කොට තිබේ.

මන්නාරම උප්පුකුලමේ, කෝන්දෙයිපිටි ධීවර ගම්මානයට කඩා වැදී පැල්පත් කඩා බිඳ ගිනි තැබීමයි ඒ පිරිසට එරෙහි චෝදනාව.

අමාත්‍ය බදියුද්දීන්

මේ පිලිබඳව බී බී සී සංදේශය කළ විමසීමේදී තමන් මහේස්ත්‍රාත් වරයා ඇමතීය යන්න අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය.

ධීවර පවුල් 67 ක් 2002 දී කෝන්දෙයිපිටියට පදිංචියට පැමිණ ඇත්තේ විඩුත්තල්තීවූ එල් ටී ටී ඊ පාලනයේ පැවති සමයේ.

ඔවුන් ආපසු යැවීම සම්බන්ධයෙන් ලබන මස මුලදී රජයේ බලධාරීන් සමග එකඟතාවකට එළඹෙන තුරු එම ධීවර පවුල් කෝන්දෙයිපිටියේම පදිංචි කොට තැබිය යුතු බව අධිකරණය මීට ඉහතදී නියෝග කොට තිබිණි.

මන්නාරමේ උප්පුකුලමේ අධිකරණ විරෝධී උද්ඝෝෂණය
ඡායාරූප ශීර්ෂ වැකිය, මන්නාරමේ උප්පුකුලමේ අධිකරණ විරෝධී උද්ඝෝෂණය

අධිකරණ තීන්දුවට විරෝධය පාමින් උප්පුකුලමේ උද්ඝෝෂණයක් පැවැති 13 වැනි දායි කෝන්දෙයිපිටියේ පැල්පත් ගිනි තැබීම සිදුවී ඇත්තේ.

අනතුරු ඇඟවීමක්

එම ප්‍රහාරයේදී පැල්පත්, බෝට්ටු හා දැල් ඇතුළු ධීවර ආම්පන්න වලට අලාභ හානි පැමිණවීමේ චෝදනා යටතේ පොලිසිය කළ පැමිණිල්ලක් අනුවයි සැකකරුවන් 16 දෙනකු අත් අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කොට තිබුනේ.

මහේස්ත්‍රාත් තීන්දුවට විරෝධය පා බදාදා එල්ල කරන ලද ගල් මුල් ප්‍රහාරයකින් වවුනියාවේ අධිකරණ දේපළට ද හානි සිදුවී තිබුණි.

මන්නාරම විනිසුරු වරයාට කළ බලපෑම අධිකරණයට සෘජුව හා වක්‍රව කලක් තිස්සේ එල්ල කැරුණු දේශපාලන ප්‍රහාර මාලාවේ තවත් එකකැ'යි පවසන ආසියානු මානව හිමිකම් කොමිසම "නීතිය හා එය ක්‍රියාවේ යෙදැවීම මුළුමනින්ම අභාවයට නොයන්නට නම්, මන්නාරමේ සිදුවීම් බරපතල කොට සැලකිය යුතු," බව 19 වැනි දා නිකුත් කළ නිවේදනයකින් අනතුරු අඟවා සිටී.