මහේස්ත්රාත්ට තර්ජනය කිරීම රවුෆ් හකීම් හෙළා දකී

ඡායාරූප මූලාශ්රය, Trde Ministry sri Lanka
දීප ව්යාප්ත වැඩවර්ජනයක් හේතුවෙන් රට පුරා අධිකරණ කටයුතු අඩාල විය.
මෙම වැඩවර්ජනයට දිවයින පුරා නීතිවේදීන්ගේ සයෝගය ලැබිණ.
මන්නාරම මහේස්ත්රාත් වරයාට තර්ජනය කළ බවට චෝදනා එල්ලවී සිටින කර්මාන්ත හා වාණිජ කටයුතු භාර අමාත්ය රිසාත් බදුර්දීන් ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමිනුයි නීතිඥයන් වැඩ වැරුම දියත් කළේ.
නඩු තීන්දුවක් ඉවත් කරගන්නා ලෙස බලකරමින් අමාත්ය බදුර්දීන් මන්නාරම මහේස්ත්රාත් වරයා හට 18 වැනි බදාදා රාත්රියේ තර්ජනය කළ බවට චෝදනා එල්ල වී තිබේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් උතුරේ උසාවි හතරක නීතිඥවරු ඊයේ, බ්රහස්පතින්දා ද වැඩ වර්ජනයක් දියත් කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් තමා කණගාටුව පළකරන බව අධිකරණ අමාත්ය රවුෆ් හකීම් අද මාධ්ය කරුවන් අමතමින් කියා සිටියේය.
මෙම සිද්ධියට තවත් අමාත්ය වරයෙකු සම්බන්ධ වී සිටින නිසා නීතිඥයෙකු හැටියට තමා තර්ජනය කිරීමේ සිද්ධිය හෙළා දකින බවයි ඔහු ප්රකාශ කළේ.
වැඩවර්ජනය හේතුවෙන් ශ්රේෂ්ඨාධිකරණය ඇතුළු සියලු උසාවි වල රාජකාරි අඩාල වු බවයි වාර්තා වන්නේ.
අමාත්ය බදුර්දීන් විසින් අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ලද තර්ජනය හෙළා දැකීමේ අරමුණින් මෙම වැඩවර්ජනය සංවිධානය කළ බවයි ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ප්රකාශ කළේ.
"මෙම වැරදි වලට සම්බන්ධ උදවියට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ," යයි ඔහු සංදේශයට කියා සිටියේය.
මෙම සිද්ධියට අදාළ අමාත්යවරයා ඇතුළු පිරිසට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙස තමන් නීතිපති වරයා ඇතුළු නීතිය ක්රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියි.

මේ අතර සංදේශය කතා කල කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ සභාපති ආනන්ද හෙට්ටිආරච්චි කියා සිටියේ, අමාත්ය රිසාත් බදුර්දීන්ට එරෙහිව ත්රස්තවාදය වැළක්වීමේ පනත යටතේ නඩු පැවරීමට පොලිස්පති වරයා කටයුතු කළ යුතු බවයි.
"පොලිස්පති වරයා නීතිය ක්රියාත්මක කළ යුතුයි. අමාත්යවරයා ත්රස්තවාදය වැළක්වීමේ පනත, පොදු දේපල පනත සහ දණ්ඩ නීති සංග්රහය යටතේ වැරදි ගණයට අයත් වන ක්රියාකාරකම් කරලා තියෙනවා. ඔහු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි වරදක් කරලා තියෙන්නේ, අදාළ මන්නාරම ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ කාර්යභාරය විය යුත්තේ වහාම මේ පුද්ගලයෝ අත්අඩංගුවට අරගෙන වහාම නිසි අධිකරණයකට ඉදිරිපත් කරන එක," යයි කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ සභාපති ආනන්ද හෙට්ටිආරච්චි ප්රකාශ කළේය.
අදට නියමිතව තිබූ නඩු ලබන සඳුදා විභාගයට ගන්නා බව ලේඛකාධිකාරී වරුන් විසින් දැනුම් දී තිබේ.
මේ අතර අමාත්ය බදුර්දීන්ට සහය පළ කෙරෙන උද්ඝෝෂණයක් වව්නියාවේ මුස්ලිම් පල්ලියේ පැවැත්විණි.
තමන් විසින් දුරකථනයෙන් මන්නාරම මහේස්ත්රාත් වරයාට තර්ජනය කළ බව බදුර්දීන් ඇමතිවරයා පිළිගෙන නැතැයි කියා සිටින විරෝධතා කරුවෝ මෙම ගැටලුව දුර දිග යෑම නිසා ජාතීන් අතර අසමගිය වර්ධනය වීමේ අවධානමක් ඇතැයි කියා සිටියහ.
තමන් වරදක් නොකළ බව බදුර්දීන් ඇමතිවරයා බි බි සී සංදේශයට කියා සිටි බව ප්රකාශ කරන වව්නියාවේ උද්ඝෝෂකයන් අමාත්යවරයා වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව නීතිය ක්රියාත්මක කළ හැකි බවයි සඳහන් කලේ.



























