ධීවරයන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරනවා - ආණ්ඩුවට චෝදනාවක්

ජීවිත දහස් ගණනකට මරු කැඳවූ සුනාමියෙන් පවා පාඩම් ඉගෙන නොගෙන, ශ්රී ලංකාවේ බලධාරීන් ධීවරයන්ගේ ජීවිත අනතුරේ හෙලන බවට ධීවර නායකයෝ ආණ්ඩුවට චෝදනා කරති.
ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් එම චෝදනාව එල්ල කළේ සිකුරාදා රාත්රියේ සහ සෙනසුරාදා බටහිර වෙරළේ හටගත් කුණාටුවෙන් ධීවරයන් විශාල පිරිසක් මිය යාම වලක්වා ගැනීමට රජය පියවර නොගත් බව පවසමින්.
මේ වන විට මිය ගිය පිරිස 40 දක්වා ඉහල ගොස් තිබෙන අතර, ආපදා කළමනාකරණ මධ්යස්ථානය විසින් සඳුදා පස්වරුවේ නිකුත් කළ සංඛ්යාලේඛන අනුව විසිනව දෙනකු තුවාල ලබා තිබෙන අතර අතුරුදහන් පිරිස තිහකි.
මියගිය සියලු දෙනාම පාහේ කුඩා බෝට්ටුවලින් මුහුදු ගිය ධීවරයන් බව පවසන කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්, බේරා ගැනීමේ මෙහෙයුම්වලට නාවුක හමුදාව යොදවා තිබෙන බවද පවසයි.
'අනතුරු ඇඟවීමක් කළා'
ආණ්ඩුව මෙන්ම කාලගුණ විද්යා බලධාරීන්ද මේ ව්යසනයේ වගකීම භාරගත යුතු බවද හර්මන් කුමාර සංදේශයට කියා සිටියේය.

කෙසේ නමුත් කාලගුණ තත්ත්වය පිළිබඳව අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කොට තිබෙන බවයි, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලලිත් චන්ද්රපාල අවධාරණය කරන්නේ.
අධ්යක්ෂවරයා ඒ බව සඳහන් කළේ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඉදිරිපස උද්ඝෝෂණයේ යෙදුනු භික්ෂුන් වහන්සේලා පිරිසක් මුණ ගැසුණු අවස්ථාවේ.
මේ තත්ත්වය යටතේ අනතුරු ඇඟවීම් නොතකා හරිමින් ධීවරයන් දියඹට ගොස් තිබෙන්නේ නොවේ දැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් හර්මන් කුමාර පවසන්නේ තමන්ට එවැනි අනතුරු ඇඟවීමක් නොලැබුණු බව ධීවරයන් අවධාරණය කරන බවයි.
කෙසේ නමුත් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඇතැම් අවස්ථාවල එවැනි අනතුරු ඇඟවීම නොතකා හරිමින් ධීවරයන් මුහුදට යන බව ඔහු බැහැර නොකරයි.
අයහපත් කාලගුණය සම්බන්ධයෙන් ධීවරයන්ට අනතුරු ඇඟවීම සඳහා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ප්රමාණවත් පියවර නොගත්තේද යන්න සොයා බැලීම පිණිස ආණ්ඩුව විසින් පරීක්ෂණයක් ආරම්භ කරන ලද බව මේ අතර ආණ්ඩුව නිවේදනය කොට තිබේ.
එම පරීක්ෂණයෙන් වැරදිකරු වුවහොත් කාලගුණ විද්යා නිලධාරීන්ට දඬුවම් කළ යුතු බව ආපදා කළමනාකරණ ඇමතිවරයා පවසයි.




























