විරෝධතා දේශපාලනයෙන් ඈත්වෙන්නැයි තරුණ භික්ෂුන් වහන්සේලාට අනුශාසනාවක්

Published

තරුණ භික්ෂුන් වහන්සේ දේශපාලනයෙන් ඈත් වී තමන් පැවිදි වූ අරමුණ සාක්ෂාත් කර ගන්නා අතරතුර දායකයින්ට මෙලොව සහ පරලොව පිළිබඳව හැඟීමක් ඇති කර දීමට කටයුතු කළ යුතු බව අස්ගිරි මහා නාහිමියෝ පවසති.

අති පුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන් ඒ බව සඳහන් කළේ, මහනුවර වත්තේගම මීගම්මන රජ මහා විහාරයේ ඉදි වන ටැම්පිට විහාරය සහිත සීමා මාලකයේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

බොහෝ භික්ෂූන් වහන්සේ ශාසනයට හිතැති ව කටයුතු කරමින් සිටියත් ඇතැම් තරුණ භික්ෂුන් වහන්සේ දේශපාලනයට නතු වීමේ හේතුවෙන් දායකයින් සහ භික්ෂුන් වහන්සේ අතර ගැටුම්කාරී තත්වයන් හට ගත් අවස්ථා තමන්ට සැල වී ඇතැයි අස්ගිරි මහ නා හිමියෝ කියා සිටියහ.

“මේ දේශපාලනයට බැහැලා, අපට අනවශ්‍ය ආකාරයට ඒ කටයුතු වල නිරත වෙමින් තමන්ගේ භික්‍ෂුත්වයට සහ ගෞරවයට හානි කරගනිමින් මුළු ශාසනයටම අපකීර්තියක් ගෙන දෙන අකාරයටයි කටයුතු කෙරන්නේ,” යැයි අස්ගිරි මහා නායක අති පුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේ කියා සිටියහ.

ඊර්ෂ්‍යාවෙන් සහ ක්‍රෝධයෙන් භරිත දේශපාලනයෙන් ඇත්වී පෙළපාලි උපවාස ආදී විරෝධතා ක්‍රියා මාර්ගවලින් භික්ෂූන් වහන්සේ ඈත් වී සිටිය යුතු බව අස්ගිරි මහා නායක අති පුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියෝ වැඩි දුරටත් කියා සිටියහ.