වනාතමුල්ල නිවාස ඉවත් කිරීමට අධිකරණ අවසර

Published

කොළඹ වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි තිස් හතර වත්ත නමැති ස්ථානයේ පිහිටි නිවාස කඩා ඉවත් කිරීමට අධිකරණය නාගරික සංවර්ධන අධිකාරියට අවසර ලබා දෙනු ලැබීය.

එම නිවාස කඩා ඉවත් කිරීමට එරෙහිව පදිංචිකරුවන් හතර දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් අද අඟහරුවාදා කැඳවු අවස්ථාවේ දී නාගරික සංවර්ධන අධිකාරිය අධිකරණයට දැනුම් දී සිටියේ කඩා ඉවත් කරන නිවාස වෙනුවට විකල්ප නිවාස ලබා ගැනීමට පදිංචිකරුවන් එකඟතාව පළ කර ඇති බවයි.

විකල්ප නිවාස

එම එකඟතාව පිළිගත් අධිකරණය විකල්ප නිවාස ලබා දීමේ පදනම මත අදාළ නිවාස කඩා ඉවත් කිරීමට අවසර ලබා දෙනු ලැබීය.

එහෙත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී සුනිල් වටගල ප්‍රකාශ කළේ එම සමථය පිළිබඳ පෙත්සම්කාර පාර්ශවයේ පූර්ණ එකඟතාවක් නොමැති බවයි.

නීතිවේදී සුනිල් වටගල කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරිය පෙත්සම් කරුවන්ට විකල්ප නිවාස ලබා ගත යුතු බවට බල කිරීමක් කළ අතර සමථය පිළිබඳ පාර්ශව කරුවන් තුළ ප්‍රසසාදයක් නොමැති වුවත් වෙනත් මාර්ගයක් නොමැති නිසා ඔවුන් නාගරික සංවර්ධන අධිකාරිය යෝජනා කරන විකල්ප නිවාස ලබා ගෙන ඉවත්ව යාමට තීන්දු කර තිබෙන බවයි.

ආරක්ෂක අමාත්‍යංශයේ බලපෑම්

වනාතමුල්ල ප්‍රදේශවාසීන්ට සහාය පළ කිරීම සඳහා අධිකරණයට පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී‍ ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යංශයේ බලපෑම් ඉදිරියේ පෙත්සම් කරුවන්ට අසරණ වීමට සිදුව ඇති බවයි.

එහෙත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කළේ විකල්ප නිවාස ලබා ගන්නා මෙන් පෙත්සම් කරුවන්ට කිසිදු බලපෑමක් නොකළ බවයි.

තිස් හතර වත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස 48 ක් කඩා ඉවත් කරන බව කියා සිටි එම නිලධාරීන් ඉන් නිවාස 44 ක පදිංචිකරුවන් විකල්ප නිවාස ලබා ගෙන ඉවත්ව යාමට කැමැත්ත පළ කර ඇති බවද පැවසීය.