සබරගමුව: ආණ්ඩුවේ එළඹුම 'භයානකයි'

"මේ එළඹුම හරිම භයානක එකක්. ඒ වගේම මේ එළඹුම ඉතාම ව්‍යසනකාරී එකක්"
ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ එළඹුම හරිම භයානක එකක්. ඒ වගේම මේ එළඹුම ඉතාම ව්‍යසනකාරී එකක්"
Published

සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසකට සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් ගුරු වෘත්තීය සමිතිද ශිෂ්‍යයන් ගේ සත්‍යග්‍රහයට එක් වී සිටියහ.

නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ සති හයකට ආසන්න කාලයක් සත්‍යග්‍රහයක යෙදී සිටින අතර, සෙනසුරාදා රාත්‍රියේ ඔවුන්ට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරය හේතුවෙන් සිසුන් සත්‍යග්‍රහයේ යෙදී සිටි අට්ටාලය 'සුනු විසුනු වී' තිබුණු බව සඳුදා සත්‍යග්‍රහයට සහභාගි වූ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් බීබීසී සංදේශයට පැවසීය.

'අට්ටාලවල සිටින සිසුන්ට සලකන ආකාරය දන්නා,' බව අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, 'අට්ටාලවල සිටින සිසුන්ට සලකන ආකාරය දන්නා,' බව අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ

ඉරිදා රාත්‍රියේ ශිෂ්‍යයන්ගේ නිවාසවලට ගොස් සිසුන් 13 දෙනකු අත්අඩංගුවට ගත පොලිසිය, 'ඇසින් දුටු සාක්ෂි තිබියදී' ප්‍රහාරකයන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැති බවට ඔහු පොලිසියට චෝදනා කළේය.

"මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල තත්වයක්," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව අධ්‍යාපන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන ආකාරය මේ ප්‍රහාරය මගින් පිළිබිඹු වන බව සබරගමුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය නිකුත් කොට තිබෙන්නේ සංගමයේ සභාපති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි ගේ අත්සනින්.

"මේ එළඹුම හරිම භයානක එකක්. ඒ වගේම මේ එළඹුම ඉතාම ව්‍යසනකාරී එකක්. දරුවන්ගේ, ගුරුවරුන්ගේ, පරිපාලකයන්ගේ මේ සියලු දෙනාගේ ශාස්ත්‍රීය ජීවිත අවුලෙන් අවුලට පත් කරන ප්‍රවේශයක් මේ," යනුවෙන් ඔහු සංදේශයට කියා සිටියේය.

ශිෂ්‍ය ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ගය හේතුවෙන් ගැටලුව තවත් දුර දිග යාමට ඉඩ තිබෙන බවටද ආචාර්ය සුනිල් සෙනවි අනතුරු ඇඟවීය.

විශේෂයෙන්ම ශිෂ්‍ය ගැටළු විසඳීම උදෙසා උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක දක්වන්නේ "ඉතාම නොදියුණු, අව්‍යක්ත" ප්‍රවේශයක් බව පැවසූ ඔහු, සබරගමුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය එය හෙලා දකින බවත් සංදේශයට කියා සිටියේය.

"අට්ටාලවල සිටින සිසුන්ට සලකන ආකාරය දන්නා," බව අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සත්‍යග්‍රහයේ යෙදුනු ශිෂ්‍යයන්ට ප්‍රහාරයක් එල්ල වීම බරපතල සැකයක් මතු කරන්නක් බවද ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

මේ වන විට ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් සිවු දෙනකු හඳුනාගෙන ඇති බව සංදේශය කළ විමසීමකදී කියා සිටි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව සැලකෙන බැවින් අත්අඩංගුවට ගැනීමට තවමත් හැකියාවක් නොලැබුන බවද පවසයි.