මුස්ලිම් අයට ගහන්න කලින් ආණ්ඩුව සල්ලි දීලා -සාලි
මුස්ලිම් ප්රජාවට ප්රහාරයන් එල්ල කිරීම සඳහා සිංහල ජාතිවාදී සංවිධානවලට පසුගිය රජය මුදල් ලබා දී ඇති බව බස්නාහිර පළාත සභා මන්ත්රී අසාත් සාලි පවසයි.
මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කොමිසමක් පත් කළ යුතු බව ඔහු කියා සිටියේ බීබීසීයේ තිසර අරවින්ද රතුවිතාන සමඟ පැවති සාකච්ඡාවක දීයි.
‘මම අද හෙළි කරලා තියෙන්නේ බරපතල දෙයක්. සිංහල ජාතිවාදී සංවිධානවලට ආණ්ඩුවෙන් සල්ලි දීල මුස්ලිම්වරුන්ට ගහන්න කියපු එක. මේක ගැන අනිවාර්යයෙන් ම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.’

ඩිෆෙන්ඩර්
මේ සඳහා ඇතැම් භික්ෂුන් වහන්සේලාට රුපියල් මිලියන ගණනක් රජයෙන් ගෙවා ඇති බවට ඔප්පු කිරීම සඳහා තමා සතුව සාධක ඇති බවයි මන්ත්රී අසාත් සාලි පවසන්නේ.
‘මේ ස්වාමීන් වහන්සේලාට මෙච්චර සල්ලි දීලා තියෙනවා. ඒ වගේම ඩිෆෙන්ඩර් දීලා තියෙනවා. මේ හාමුදුරුවෝ නැගෙනහිර පළාත්වලට ගිහිල්ලා මුස්ලිම් ජනතාවගෙන් ප්රශ්න කරන කොට අපි බැලුවා මෙච්චර ඩිෆෙන්ඩර් සහ බොඩි ගාර්ඩ්ලා හම්බවෙලා තියෙන්නේ කොහෙන්ද කියල. දැන් තමයි මේවා එළි වුණේ.’ බස්නාහිර පළාත සභා මන්ත්රී අසාත් සාලි පවසයි.

ඡායාරූප මූලාශ්රය, AP
පැමිණිලි 226ක්
එම ලියකියවිලි රැගෙන ගොස් රහස් පොලිසියට ඉදිරිපත් කර පරීක්ෂණයක් ඉල්ලා පැමිණිල්ලක් දමන බව ද ඔහු ප්රකාශ කළේය.
‘මුස්ලිම් ජනතාව කොන්දේසි විරහිතව යහ පාලනයට සහයෝගය දුන්නා. ඒ නිසා අපි සාධාරණයක් බලාපොරොත්තු වෙනවා.’ ඔහු තවදුරටත් පැවසීය.
පසුගිය රජය පවතින කාලය තුළ පැමිණිලි 226 ක් ඉදිරිපත් කර ඇති නමුත් ඒ කිසිවක් පිළිබඳව පරීක්ෂණ පවත්වා නැති බවයි මන්ත්රී අසාත් සාලි පවසන්නේ.