මහින්දට එරෙහිව ලංගමෙන් නඩු?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ ප්රචාරක ව්යාපාරයට යොදාගත් ලංගම බස්රථ වෙනුවෙන් තවමත් ගෙවා නැති රුපියල් කෝටි 15 කට ආසන්න මුදල අය කර ගැනීම පිණිස නීතිමය ක්රියාමාර්ග ගැනීමට සූදානම් බව ආණ්ඩුව ප්රකාශ කරයි.
"ලංගම බස් රථ වෙනුවෙන් ලක්ෂ 1925 ක් ලංගමයට ලැබෙන්න ඕන. සමහර දවස්වල බස් රථ 600, 700 මේ විදියට යොදා ගෙන තියෙනවා," යනුවෙන් ප්රවාහන අමාත්ය රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.
එම ලක්ෂ 1925 න් ලක්ෂ 500 ක් අත්තිකාරම් ලෙස ගෙවා තිබෙන බව පවසන අමාත්යවරයා, ඉතිරි මුදල මේ වන තෙක් ගෙවා නැති බව කියා සිටියේය.
නීති උපදෙස්
"මේ ලක්ෂ 500 න් 250 ක් ගෙවල තියෙනවා ලේකම්, ශ්රී ලංකා නිදහස් පක්ෂය කියල එක රිසීට් එකක් තිබුණා. තව රිසීට් එකක් තිබුණා ගාමිණී සෙනරත්, අරලියගහ මන්දිරය කියල," බවයි අමාත්ය රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ.

ඡායාරූප මූලාශ්රය, Ranjith Madduma Bandara
අදාළ හිඟ මුදල ගෙවන මෙන් දැනටමත් ලිපි මඟින් දැනුම් දී තිබෙන බව සංදේශයට කියා සිටි ප්රවාහන අමාත්යවරයා, එම ලිපිවලට නිසි ප්රතිචාරයක් නොලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමට වුවද පසුබට නොවන බවත් සඳහන් කළේය.
"නඩු පවරන්න ඉස්සෙල්ල අපිට පියවරවල් කිහිපයක් ගන්න තියෙනව," යනුවෙන් සඳහන් කළ ඔහු, ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය හැකිදැයි නීති උපදෙස් ලබාගන්නා බවත් කියා සිටියේය.
"ජනතාවගේ මුදල් ලබාගන්න හැම ක්රියාමාර්ගයක්ම ගන්නවා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මැතිවරණයට පෙර හිටපු ජනාධිපතිවරයාගේ කටයුතු වෙනුවෙන් ලංගම බස් රථ යොදා ගත් අවස්ථා සඳහා මේ වනවිට බිල්පත් සකස් කරමින් සිටින බවද අමාත්යවරයා පැවසීය.