කටාර් ගින්න: සේවකයන්ට 'වන්දි ගෙවනවා'

සේවකයන්ට අලුත් පහසුකම් සහිත, අලුත් නේවාසිකාගාරයක්. "වායු සමීකරණ යන්ත්‍ර ඉරිදා සවස ලබා දුන්නා."
ඡායාරූප ශීර්ෂ වැකිය, සේවකයන්ට අලුත් පහසුකම් සහිත, අලුත් නේවාසිකාගාරයක්. "වායු සමීකරණ යන්ත්‍ර ඉරිදා සවස ලබා දුන්නා."
    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සිංහල සේවය
  • Published

පසුගිය සිකුරාදා කටාර් රාජ්‍යයේ ශහානියා (Shahaniyya) ප්‍රදේශයේ ශ්‍රී ලාංකික සේවක නේවාසිකාගාරයක හටගත් ගින්නෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ශ්‍රී ලංකා තානාපති නිලධාරීහු පවසති.

එම කම්කරුවන්ට පහසුකම් සහිත අලුත්ම නේවාසිකාගාරයක් ලබා දී තිබෙන අතර, ඉරිදා රාත්‍රියේ එම නේවාසිකාගාරයේ වායු සමීකරණ යන්ත්‍ර සවි කරන ලද බවත් කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු කටයුතු භාර උපදේශක උදිත රෝහණ බීබීසී සංදේශයට පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ, සෙන්ටිග්‍රේඩ් අංශක 45 ක උෂ්ණත්වයක් පවතිද්දීත්, තමන්ට වායු සමීකරණ යන්ත්‍ර පවා නොමැති බවට එම සේවකයන් පිරිස ඉරිදා සවස බීබීසී සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.

නේවාසිකාගාරයේ හටගත් ගින්නෙන් හානි සිදු වී තිබෙන්නේ ශ්‍රී ලාංකිකයන් 250 කට පමණක් බවත් උදිත රෝහණ සඳහන් කළේය.

'ආධාර එපා'

නේපාල ජාතිකයන් සියයකට අධික පිරිසක්ද එම ලැගුම්හලේ සිටින අතර, ඔවුන් සේවය කරන කම්හලේ බලධාරීන් ඉරිදා රාත්‍රියේ සේවකයන්ගේ අප්‍රේල් වැටුප ලබා දුන් බවත් කම්කරු කටයුතු පිලිබඳ උපදේශකවරයා සංදේශයට පැවසීය.

කටාර් රාජ්‍යයේ තවත් රැකියා අවස්ථා මතුවෙමින් තිබෙන අවස්තාවක යළි සියරට බලා නොයන මෙන් සේවකයන්ගෙන් ඉල්ලීමක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කටාර් රාජ්‍යයේ තවත් රැකියා අවස්ථා මතුවෙමින් තිබෙන අවස්තාවක යළි සියරට බලා නොයන මෙන් සේවකයන්ගෙන් ඉල්ලීමක්

එම ප්‍රකාශය අනුමත කරන ස්වේච්ඡාවෙන් ඔවුන්ට ආධාර කළ ශ්‍රී ලාංකිකයෝ, ගින්නෙන් පීඩාවට පත් සේවක පිරිසට ප්‍රමාණවත් තරම් ආධාර ලැබී තිබෙන බවද පවසති.

ශ්‍රී ලාංකිකයන් පිරිසට ආධාර ලබා දෙන මෙන් කෙරුණු ඉල්ලීමට දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුණු බව පවසන ඔවුහු, ඒ සියලු දෙනාට සිය ස්තුතිය හිමි වන බවත් බීබීසී සංදේශයට පැවසූහ.

එමෙන්ම රියාල් 200 ක අතිරේක දීමනාවක්, නිල ඇඳුම් සහ ප්‍රමාණවත් පහසුකම් සහිත නිවහනක් ලබා දී තිබෙන බවත් ප්‍රජා සේවකයෝ සංදේශයට පැවසූහ.

පාපන්දු ලෝක කුසලානය

තමන්ට වන්දි ලබා දී යළි ශ්‍රී ලංකාව බලා යාමට පහසුකම් සලසා දෙන මෙන්ද ගින්නෙන් පීඩාවට පත් ඇතැම් සේවකයෝ සමාගම් අධිකාරියෙන් ඉල්ලා සිටියහ.

ගින්නෙන් ඇති වූ හානිය පිළිබඳ තොරතුරු රැස්කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු කටයුතු භාර උපදේශක උදිත රෝහණ, කටාර් රාජ්‍යයේ තවත් රැකියා අවස්ථා මතුවෙමින් තිබෙන අවස්තාවක යළි සියරට බලා නොයන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

2020 වසරේ ජගත් පාපන්දු කුසලානයට අනුග්‍රහය දක්වන්නේ කටාර් රාජ්‍යයයි.

කෙසේ නමුත් සේවකයන් ඉල්ලා සිටින්නේ නම් ශ්‍රී ලංකාවට යාම සඳහා පහසුකම් සැලසීමට තමන් සූදානම් බවද ඔහු කියා සිටියේය.