ලොවපුරා අමෙරිකානු වීසා නිකුත් කිරීම 'ඇණහිටලා'

ජුනි 08 වැනි දිනට පසුව ඉදිරිපත් කරන ලද අයදුම්පත් මුද්‍රණය කිරීමට හෝ සලකා බැලීමට "මේ අවස්ථාවේ හැකියාවක් නෑ"
ඡායාරූප ශීර්ෂ වැකිය, ජුනි 08 වැනි දිනට පසුව ඉදිරිපත් කරන ලද අයදුම්පත් මුද්‍රණය කිරීමට හෝ සලකා බැලීමට "මේ අවස්ථාවේ හැකියාවක් නෑ"
Published

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වීසා බලපත් පද්ධතියේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් වීසා බලපත් නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව ඇණහිට තිබෙන බව බලධාරීහු පවසති.

මෙය එක් රටකට හෝ එක් වීසා වර්ගයකට පමණක් සීමාවූවක් නොවන බවයි, කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙන්නේ.

මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් සිදුවන අපහසුව පිළිබඳව සමාව ඉල්ලා සිටින නිවේදනය, ඉතා ඉක්මනින් එය යථා තත්වයට පත්කිරීමට උත්සාහ ගන්නා බවද සඳහන් කරයි.

අදාළ දෝෂය නිසා පසුගිය ජුනි 08 වැනි දිනට පසුව ඉදිරිපත් කරන ලද අයදුම්පත් මුද්‍රණය කිරීමට හෝ සලකා බැලීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බවද නිවේදනයේ සඳහන්.

සිය සම්මුඛ සාකච්ඡා සඳහා ලබා දී තිබෙන දින වෙනස් කරගන්නා මෙන්, අන්තර්ජාලය ඔස්සේ දැනටමත් සිය අයදුම්පත් සම්පූර්ණ කර ඇති ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.