විපක්ෂනායක පදවියට නම් පහක්

ඡායාරූප මූලාශ්රය, Kumara Welgama
- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සංදේශය, ලන්ඩන්
- Published
ශ්රී ලංකාවේ මීළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරයට සුදුස්සෙකු තෝරා ගැනීම විරුද්ධ පක්ෂ මන්ත්රීවරුන්ට භාර කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් සමග පැවති රැස්වීමකදී සඳහන් කොට තිබේ.
ජනාධිපතිවරයා එම තීරණයට එළඹී තිබෙන්නේ විරුද්ධ පක්ෂ නායකයා තෝරා ගැනීම පක්ෂ නායකයාට පැවරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභාව පසුගියදා එළැඹි තීරණයට සන්ධානයේ සාමාජික පක්ෂ බොහොමයක් විරෝධය පල කිරීමෙන් අනතුරුවයි.
නව සම්මුතිවාදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විරුද්ධ පක්ෂ නායකයාද තෝරා පත්කිරීම ප්රජාතන්ත්රවාදයේ විකෘතියක් බව ජනතා විමුකති පෙරමුණ මෙන්ම ජාතික නිදහස් පෙරමුණේද මතය වී තිබේ.

ඡායාරූප මූලාශ්රය, Getty
ජනපතිවරයාගේ නව තීන්දුවත් සමඟ විපක්ෂනායක පදවියට පත්වීමට ඉඩ තිබෙන අපේක්ෂකයන් කවුරුන්ද?
හිටපු කතානායක චමල් රාජපක්ෂ ඒ සඳහා ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා බවයි පෙනීයන්නේ.
විශේෂයෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන ජනාධිපතිවරයා සහ වත්මන් කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ අතර පවතින 'සීතල යුද්ධය' සමනය කිරීම් වස් හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරාට විපක්ෂනායක පදවිය හිමිවීමට ඉඩ තිබෙන බව <link type="page"><caption> ලංකානිවුස්වෙබ් වෙබ් අඩවියේ</caption><url href="http://lankanewsweb.net/" platform="highweb"/></link> කර්තෘ චන්දිම විතානාරච්චි ගේ අදහසයි.

කෙසේ නමුත් ජාතික ආණ්ඩුවේ හවුල්කරුවකු වන ශ්රී ලංකා නිදහස් පක්ෂයට එම පදවිය හිමිවීම 'ප්රජාතන්ත්රවාදයේ විකෘතියක්' බවට එල්ල වන චෝදනා තමා අනුමත කරන බවත් ඔහු බීබීසී සංදේශයට පැවසීය.
"ඇත්තෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂයට ජනතාව වරමක් ලබාදීල තියෙන්නේ විපක්ෂයේ ඉන්න. ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න නොවෙයි," චන්දිම විතානාරච්චි වැඩිදුරටත් පැවසීය.
එසේ නම් ඒ පදවියට සුදුස්සා කවුරුන්ද?
මහ මැතිවරණයේදී ආසන 16 ක් දිනාගත් දෙමළ ජාතික සන්ධානය පවසන්නේ විපක්ෂනායක පදවිය <link type="page"><caption> තමන්ට හිමි විය යුතු බවයි</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/08/150829_ug_tna_opposition" platform="highweb"/></link>. ත්රිකුණාමල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාජවරෝදයම් සම්බන්ධන් එහි නායකයායි.
කෙසේ නමුත් දෙමළ ජාතික සන්ධානයට එම පදවිය ලබාදීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව දෙකම සූදානම් නැති හැඩකුයි පෙනී යන්නේ.

ඡායාරූප මූලාශ්රය, Dinesh Gunawardena
ජාතික ලැයිස්තු මන්ත්රී ධූර සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තුලද අර්බුදයක් මතු වී තිබෙන නමුත් ජනතා විමුක්ති පෙරමුණේ සහායද සහිතව ශක්තිමත් විපක්ෂයක් ලෙස ක්රියාකිරීමට දෙමළ ජාතික සන්ධානයටද හැකියාව තිබේ.
කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර් වෙල්ගම විපක්ෂනායක පදවියට සුදුසු බව මහින්ද රාජපක්ෂ මන්ත්රීවරයාද සඳහන් කොට තිබුණි. එහෙත් විපක්ෂයේ අසුන් ගන්නා ජනාධිපතිවරයාගේ පාර්ශවයේ මන්ත්රීවරුන් ගෙන් ඔහුට අනුමැතිය ලැබේවිද යන්න ප්රශ්නයක්.
කිසියම් ලෙසකින් චමල් රාජපක්ෂ හෝ කුමාර් වෙල්ගම මන්ත්රීවරුන් දෙදෙනාගේම නම් ප්රතික්ෂේප වුවහොත් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්රීවරයා ද විපක්ෂනායක පදවියට යෝජනා කෙරෙන තවත් නමක්.

මහින්ද රාජපක්ෂ පරිපාලනයේ ජ්යෙෂ්ඨ අමාත්ය තනතුරු ගණනාවක් හෙබැවූ ඔහු, හිටපු ජනාධිපතිවරයාගේ සමීප ආධාරකරුවෙක්.
මහ මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරුණු හිටපු අමාත්ය එස්බී දිසානායක ගේ නමද ඇතැම් වාර්තාවල සඳහන් වුවත්, ඔහු සම්මුතිවාදී ආණ්ඩුවේ සමෘද්ධි කටයුතු පිළිබඳ අමාත්යධුරය අපේක්ෂාවෙන් සිටින බවයි විශ්වාස කෙරෙන්නේ.
පසුගිය ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා විපක්ෂනායක ධුරය දැරූ නිමල් සිරිපාල ද සිල්වා මන්ත්රීවරයාට නව ආණ්ඩුවේ අමාත්ය පදවියක් හිමිවනු ඇති බවත් සඳහන්.




























