පෙත්සම් විභාගයේදී එක්නැලිගොඩ පාර්ශ්වයටත් අවස්ථාවක්

මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රඳවා සිටින යුද හමුදා නිලධාරීන් නිදහස් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කරනු ලැබ ඇති පෙත්සම් විභාගයේ දී කරුණු දැක්වීමට සන්ධ්යා එක්නැලිගොඩට අභියාචනාධිකරණයේ අවසරය ලැබුණි.
අදාළ පෙත්සම කැඳ වූ අවස්ථාවේ දී ප්රගීත් එක්නැලිගොඩ මාධ්යවේදියාගේ බිරිඳ වන සන්ධ්යා එක්නැලිගොඩ පාර්ශ්වයේ නීතිවේදියා කියා සිටියේ පෙත්සම්කාර හමුදා නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටින සහනය තුලින් තමන්ට ද බලපෑමක් සිදු වන නිසා එම අධිකරණ කටයුත්තට මැදිහත් වී කරුණු දැක්වීමට ඉඩ දෙන ලෙසයි.
ඊට විරෝධය පල කල යුද හමුදා නිලධාරීන්ගේ පාර්ශ්වයේ නීතිවේදීන් පෙත්සම් විභාගය තවමත් ආරම්භ වී නොමැති නිසා එක්නැලිගොඩ පාර්ශ්වය මෙම නඩුවට මැදිහත් වීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි කියා සිටියේ.

එහෙත් එම විරෝධය බැහැර කළ අභියාචනාධිකරණය සන්ධ්යා එක්නැලිගොඩට නඩු විභාගයට මැදිහත් වීමට අවස්ථාව ලැබෙන බව දැනුම් දුන්නේය.
අධිකරණය නිකුත් කල නොතීසියකට අනුව වග උත්තර කරුවන් වන පොලිස්පතිවරයා රහස් පොලිසියේ අධ්යක්ෂ ඇතුළු නිලධාරීන් ද අධිකරණයේ පෙනී සිටියහ.
පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නොවැම්බර් මස 19 වන දින දක්වා කල් ලබා දුන් අධිකරණය එදිනට පෙර විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන මෙන් පොලිස්පති ඇතුළු නිලධාරීන්ට නියම කළේය.
























