එ.ජා. නියෝජිතයාගේ ශ්‍රී ලංකා ගමන අධීක්ෂණ චාරිකාවක්-මනෝ ගනේෂන්

මනෝ ගනේෂන් සහ මිරස්ලාව් ජෙන්කා අතර සාකච්ඡා
ඡායාරූප ශීර්ෂ වැකිය, මනෝ ගනේෂන් සහ මිරස්ලාව් ජෙන්කා අතර සාකච්ඡා
Published

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබද සහකාර ලේකම් මිරස්ලාව් ජෙන්කා ගේ ( Miroslav Jenca ) ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවෙන් අනතුරුව රට අභ්‍යන්තරයේ පවතින තත්වය සොයා බලමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා දීම වන බව ජාතික සංවාදය සහ සංහිඳියාව භාර ඇමති මනෝ ගනේෂන් පවසයි.

ඇමතිවරයා එම අදහස පළ කළේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටින එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම්වරයා සමඟ ඔහු පවත්වන ලද සාකච්ඡා පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී.

තමා පමණක් නොව ආණ්ඩුවේ මෙන්ම විවධ දේශපාලන පක්ෂවලට අයත් නායකයන් ඇතුළු නියෝජිතයන් එක්සත් ජාතීන්ගේ නිලධාරියා හමු වී ඇති බව සිය අවබෝධය වන බවත් ඇමතිවරයා පවසයි.

ශ්‍රී ලංකාව තුල ජාතික සංහිඳියාව ගොඩ නැගීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබා ගත හැකි සහයෝගය පිළිබඳව තමා එම නිලධාරියා සමඟ සාකච්ඡා කළ බවයි මනෝ ගනේෂන් ඇමතිවරයා සඳහන් කළේ.

බාධාකාරී බලවේග

විදේශ ඇමති මංගල සමරවීර එ.ජා. වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සමඟ
ඡායාරූප ශීර්ෂ වැකිය, විදේශ ඇමති මංගල සමරවීර එ.ජා. වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සමඟ

‘ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියා විසින් පැහැදිලි කරනු ලැබුණා. කෙසේ වුවත් මේ අවස්ථාවේ දී රටේ සංහිඳියාවට සහජීවනයට බාධාකාරී තත්වයන් පිළිබඳවත් අපේ සාකච්ඡාවට භාජනය වුනා’ ජාතික සංහිඳියාව භාර ඇමතිවරයා පවසයි.

විශේෂයෙන්ම මානව හිමිකම් කොමිසමේ යෝජනා සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාර පිළිබඳව මෙන්ම යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් අනුගමනය කරනු ලබන ක්‍රියා මාර්ගයන් ගැනත් එක්සත් ජාතීන්ගේ නියෝජිත මිරස්ලාව් ජෙන්කා අවධානය යොමු කළ බව ඇමතිවරයා සඳහන් කරයි.

‘මගේ තේරුම් ගැනීම නම් මේ සංචාරයේ අරමුණ ඒ පිළිබඳ අධීක්ෂණ උවමනාවක්’ මනෝ ගනේෂන් ඇමතිවරයා කියා සිටියි.

සර්ව පාක්‍ෂික සමුළුව

ජිනීවා යෝජනා කේන්ද්‍ර කර ගනිමින් බ්‍රහස්පතින්දා (22) පැවැත්වුන සර්ව පාක්ෂික සමුළුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයා සතුට පළ කළ බවයි ඇමති මනෝ ගනේෂන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

‘ජනාධිපතිතුමා සියළුම පාර්ශ්වයන් එකතු කර ගනිමින් මේ ගමන යාමට උත්සාහ දරන බවක් පෙනී යන බවත් එම සියලු පාර්ශවයන් අවබෝධයකින් යුතුව කටයුතු කිරීම වැදගත් වන අතර එය එක්සත් ජාතීන්ගේ බලාපොරොත්තුව වන බවත් එම නිලධාරියා මට දැනුම් දුන්නා’ මනෝ ගනේෂන් ඇමතිවරයා පවසයි.

මානව හිමිකම් කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවක්.
ඡායාරූප ශීර්ෂ වැකිය, මානව හිමිකම් කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවක්.

තමන් විවිධ රටවල අර්බුද සම්බන්ධයෙන් මැදිහත් වෙමින් ලබා ඇති අත්දැකීම් අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව ගොඩ නැගීමේ කාර්ය භාරය සඳහාත් දායක විය හැකි බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයා තමා සමඟ සඳහන් කළ බවත් ඇමතිවරයා බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී අදහස් සඳහන් කළේය.

අත්දැකීම් බෙදා හදා ගැනීම

මේ අතර එක්සත් ජාතීන්ගේ හැත්තෑ වෙනි වන සංවත්සරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණි.

එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ පැවැත්වුන එම සමරු උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, කතානායක කරු ජයසූරිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන අරමුදලේ නේවාසික නියෝජිත සුබිනෙයි නන්දෙයි ඇතුළු පිරිසක් සහභාගී වූහ.