දුම්රිය යාචකයින්ගේ ඉරණම

Published

දහසකට අධික දුම්රිය යාචකයන්ට නොවැම්බර් මස 01 වනදා සිට දුම්රිය තුළ සිඟමන් යැදීම තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි දුම්රිය වාණිජ අධිකාරි සංදේශයට කියා සිටියේ.

‘දුම්රියවල සිඟමන් යැදීම සහ සිඟා කෑමත්, මගීන්ට අවහිරයක් වන පරිදි හැසිරීමත්, අසභ්‍ය ඇඳුමෙන් සැරසී සිටීම දුම්රිය ආඥා පනතට අනුව විරුද්ධ දෙයක්’ දුම්රිය වාණිජ අධිකාරි සිසිර කුමාර පැවසුවේය.

නීතිය ක්‍රියාත්මක කිරීම හරහා යාචකයින්ට එල්ල වන බලපෑම පිළිබඳ සොයා බැලීම සඳහා සංදේශය වෙනුවෙන් දුම්රියට ගොඩ වුණේ ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න.

තම බිරිඳගේ සහ රෝගී දරුවාගේ බඩ වියත රැක දීමට මෙලෙස සිඟමන් යදින බයිව මරදාන දුම්රිය ස්ථානයේ සිටි හැට හතර හැවිරිදි ජෝයි ප්‍රනාන්දු කියා සිටියේ.

දෑස් නොපෙනෙන පනස් එක් වියැති එච්ජී කමලාවතී පවසන්නේ දරුවන් නොසැලකීම හේතුවෙන් තමා මෙලෙස දුම්රියේ සිඟමන් යදින බවයි.

‘මේ හිඟන කට්ටිය මගීන්ගේ ඇඟේ ගෑවී ගෙන, පාගා ගෙන ඇඟ උද නැග ගෙන යන්නේ. ඉතින් කෝච්චියේ යන මිනිස්සු කොහොමද යන්නේ’ එක් දුම්රිය මගියෙක් ප්‍රශ්න කළේය.

‘හුඟාක් ඉන්නේ බොරු කාරයෝ. අහිංසක මිනිස්සු ඉන්නවා, ඒ මිනිස්සුන්ට හිඟා කන්න ඉඩ දෙන්න ඕනි.’ ඒ තවත් දුම්රිය මගියකුගේ අදහස.

ආබාධිත හෝ වෙනත් කර කියා ගත හැකි කිසිවක් නොමැති පුද්ගලයන්ට වගකිවයුත්තන් මැදිහත් වී විකල්පයක් ලබා දිය යුතු බවයි එක් මගියෙක් කියා සිටියේ.