සිසුන්ට පහරදීම: පාර්ලිමේන්තුව උණුසුම්

අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව සහ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා විවර කරන මෙන් ඉල්ලමින් ශිෂ්‍යයන් උද්ඝෝෂණයේ
ඡායාරූප ශීර්ෂ වැකිය, අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව සහ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා විවර කරන මෙන් ඉල්ලමින් ශිෂ්‍යයන් උද්ඝෝෂණයේ
    • Author, අසාම් අමීන්
    • Role, බීබීසී වාර්තාකරු, කොළඹ
  • Published

පසුගිය බ්‍රහස්පතින්දා ශිෂ්‍ය උද්ඝෝෂණයට පොලිසිය එල්ලකළ ප්‍රහාරය හෙලා දකිමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගර්භයේ විරෝධතාවයක නිරතවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් වාතාවරණයක් හටගත්තේය.

මුලින්ම ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්නයක් යොමු කළ විපක්ෂනායක ආර් සම්බන්ධන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහරදීම යහපාලනය දැයි රජයෙන් ප්‍රශ්න කළේය.

ඉන්පසුව සභාව ඇමතූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, ශිෂ්‍යයන් පාර්ලිමේන්තුව අසලට පැමිණීම ආරක්ෂක අංශ යොදා වැළැක්වීමට කටයුතු කර ඇත්තේ ඇයි දැයි කතානායකවරයාගෙන් ප්‍රශ්න කළේය.

කතානායකවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාද එම ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වීමේදී සභාවේ ඇතිවූයේ උණුසුම් තත්වයක්.

'ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහරදීම යහපාලනයද?'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහරදීම යහපාලනයද?'

ශිෂ්‍ය උද්ඝෝෂණය සහ පොලිස් ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ පොලිසිය භාර අමාත්‍ය තිලක් මාරපන, ශිෂ්‍ය උද්ඝෝෂණය විසුරුවා හැරීමේදී පොලීසිය සීමාව ඉක්මවා කටයුතු කර තිබේද යන්න සෙවීමට මේ වනවිටත් පොලිස් කොමිසම විසින් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන් කළේය.

ඒ අතර රජයේ මහජන හිතකාමී වැඩපිළිවෙල අවුල් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමට රජය තීරණය කර ඇති බවත් තිලක් මාරපන ඇමතිවරයා පැවසීය.

රතුපස්වල දී අත්වල ලේ නොගෑවුණු අයට පමණක් තමන් පිළිතුරැ දීමට සුදානම් බවයි, අගමැති රනිල් වික්‍රමසිංහ අදහස් දක්වමින් කියා සිටියේ.

සිසුන් විරෝධතාවය පැවැත්වූයේ ප්‍රශ්නය විසඳා තිබූ අවස්ථාවක බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එය ප්‍රතික්ෂේප කළේය.

ශිෂ්‍යයන් පාර්ලිමේන්තුව අසලට පැමිණීම වැළැක්වීම ගැන උණුසුම් වාදයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ශිෂ්‍යයන් පාර්ලිමේන්තුව අසලට පැමිණීම වැළැක්වීම ගැන උණුසුම් වාදයක්

මේ අතර අන්තර් විශ්ව විද්යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනට දහසකට අධික ශිෂ්‍යයන් පිරිසක් සහභාගි වී සිටියහ.

ඔවුන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වූ පොලිසිය, ඔවුන්ට එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබිණ.

කෙසේ වෙතත් ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය අසලින් ආරම්භකළ විරෝධතාවය, වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලින් අවසන් කෙරිණ.

ශිෂ්‍ය විරෝධතාවය වෙනුවෙන් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා නොතිබුණු අතර ජල ප්‍රහාරක රථ හෝ කැරලි මර්ධන නිලධාරීන් පවා එහි දක්නට නොලැබුණු බව කොමිෂන් සභාව අසල සිටි මාධ්‍යවේදියෙක් බීබීසීයට පැවසීය.