'එදා මම හිටියෙත් විමල් වීරවංශගේ ස්ථාවරයේ'
- Author, තිසර අරවින්ද රතුවිතාන
- Role, බීබීසී
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 1
එදා විමල් වීරවංශ මන්ත්රීවරයා රාජපක්ෂ ආණ්ඩුවට එකතු වෙද්දී තමා ද එම ස්ථාවරයේ ම සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ හෙළිදරව් කරයි.
ඔහු මෙම හෙළිදරව්ව කළේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.
‘එදත් විමල් වීරවංශ මන්ත්රීතුමා එක්ක විශේෂ වෙනසක් තිබුණේ නැහැ. රාජපක්ෂ ආණ්ඩුවට එකතු විය යුතුය කියන කාරණාවේ දී මම හිටියා ඒ කාරණාවේ. එදා මගේ ස්ථාවරය වුණේ ඒක. විමල් වීරවංශ මන්ත්රීතුමාගේ ස්ථාවරය වුනෙත් ඒක.’ ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ පැවසීය.

ඡායාරූප මූලාශ්රය, bbc
එවැනි ස්ථාවරයක සිටියේ නම් විමල් වීරවංශ සමඟ රාජපක්ෂ ආණ්ඩුවට එකතු නොවූයේ ඇයිදැ’යි බීබීසීය විමසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්ණේය.
‘මට ඕන වුනේ මුළු පක්ෂයටම ඒක ඒත්තු ගන්නල පක්ෂයක් හැටියට ඒ තීන්දුව ගන්න. පුද්ගලයෙක් හැටියට තීන්දුවක් ගන්න නොවෙයි.’
කෙසේ නමුත් එදා වීරවංශ මන්ත්රීවරයා ගත් තීරණය විවේචනය කරන්නට තමාට සිදු වූයේ එවකට තිබුණු ‘තත්වය’ මත බවයි ඔහු පවසන්නේ.

ඡායාරූප මූලාශ්රය, wimal weerawansa
‘ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒ එදා තිබුණු තත්වය. නමුත් අද පවතින තත්වය හාත්පසින් ම වෙනස් එකක්. දේශපාලනයේ තත්වය වෙනස් වන හැටියට පක්ෂයත් තම තමන්ගේ ස්ථාවර වෙනස් කරන්න ඕන. එහෙම නැති උනොත් ඔන්න අද ජනතා විමුක්ති පෙරමුණට වෙලා තියෙන දේ සිද්ද වෙනවා. මූලධර්මවාදීන් වෙනවා.’ සෝමවංශ අමරසිංහ පවසයි.
ඔහු බීබීසීය සමඟ සංවාදයට එක් වූයේ ඉදිරි මැතිවරණ සඳහා තමා විමල් වීරවංශ මන්ත්රීවරයා සමඟ සන්ධාන ගත වීමට හේතුව පැහැදිලි කරමින්.
‘අපි සන්ධාන ගත වෙන්නේ අධිරාජ්යවාදයට එරෙහිව. යම් කිසි අවස්ථාවක මෛත්රීපාල සිරිසේන මහත්තයත් මේ මම කියන සන්ධානයට එකඟ වෙන්න පුළුවන්.’ ඔහු ප්රකාශ කළේය. හඬ පටය අමුණා ඇත.




























