තිලක් මාරපනට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

ජවිපෙ මහජන රැළියක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ජවිපෙ මහජන රැළියක්
Published

නීතිය සහ සාමය පිලිබඳ ඇමති තිලක් මාරපනට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියේ ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් තිලක් මාරපන ඇමතිවරයා පාර්ලිමේන්තුව තුළ සිදු කළ ප්‍රකාශය සැලකිල්ලට ගනිමින් එම විශ්වාසභංග යෝජනාව ගෙනෙන බවයි.

තිලක් මාරපන ඇමතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් පොලිසිය ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාවට මැදිහත් වීම විග්‍රහ කළේ ‘ලකුණු දමා ගැනීමට සිදු කළ’ක්‍රියාවක් හැටියටයි.

එහෙත් ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාවට අවි ආයුධ සැපයීමට කිසිදු අවසරයක් නොවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ පැහැදිලිව පිළිගෙන ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණ කියා සිටින්නේ.

ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු යයි සැලකෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු යයි සැලකෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා

‘තිලක් මාරපන ඇමතිවරයා ප්‍රකාශයට පත් කළේ අගමැතිවරයාගේ ස්ථාවරයට හාත්පසින්ම වෙනත් අදහසක්. එය රටේ නීතිය හෑල්ලුවට ලක් කිරීමක්’ විජිත හේරත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

නීතිය හෑල්ලුවට

මාරපන ඇමතිවරයා කරන්නේ ‘වැරදි ආරක්ෂා කිරීමක්’ යයි පවසන විජිත හේරත් මන්ත්‍රීවරයා ‘රටේ ජනතාව යහපාලන ආණ්ඩුවෙන් අපේක්ෂා කරන්නේ එවැනි තත්වයක් නොවන’ බවත් පවසයි.

පොලිසිය භාර ඇමතිවරයා කරන ප්‍රකාශන අනුව ඉදිරි කාලයේ දී පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන පරීක්ෂණ සම්බන්ධයෙන් විශ්වාසය තැබිය නොහැකි තත්වයක් උද්ගත වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා පෙන්වා දෙයි.

තිලක් මාරපන ඇමතිවරයා ඇවන්ගාර්ඩ් සමාගමේ නීති උපදේශකයකු හැටියට ක්‍රියාකර ඇති හෙයින් ඔහු එම සමාගම නිදොස් කරමින් නීතිය සහ සාමය භාර ඇමතිවරයා හැටියට අදහස් පළ කිරීම සදාචාරමය නොවන බවයි ජනතා විමුක්ති පෙරමුණේ අදහස වන්නේ

තිලක් මාරපන ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුල පවා දැනටමත් විරෝධයක් මතු වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පෙන්වා දෙයි.

 BMICH රක්නා ලංකා අවි සංචිතයෙන්
ඡායාරූප ශීර්ෂ වැකිය, BMICH රක්නා ලංකා අවි සංචිතයෙන්

එපමණක් නොව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ද ඇමතිවරයාගේ ප්‍රකාශය දෝෂ දර්ශනයට ලක් කර ඇති බවත් ඔහු පවසයි.

මැති ඇමති සහයෝගය

එබැවින් තම පක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට බොහෝ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලැබෙනු ඇත යන්න ජනතා විමුක්ති පෙරමුණේ අදහසයි.

මේ වනවිට සැලසුම් කෙරෙමින් පවතින විශ්වාසභංග යෝජනාව පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සමඟ දැනටමත් සාකච්ඡා කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.