රුවන්පුරේ මැණික් වෙළඳුන්ට අත දිය හැකි වෙළඳපොළක් - දුනේෂ්

ඡායාරූප මූලාශ්රය, Dunesh Gankanda
මිලෙන් අධික අත් ඔරලෝසු නිෂ්පාදනය කෙරෙන ලෝක ප්රකට ස්විට්සර්ලන්ත සමාගම් සමඟ සෘජු ලෙස සම්බන්ධ වී ශ්රී ලංකාවේ සුළු පරිමාණ මැණික් වෙළඳුන්ගේ අතමිට සරු කර දිය හැකි යෝජනාවක් අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බව ආපදා කළමනාකරණ නියෝජ්ය අමාත්ය දුනේෂ් ගන්කන්ද පවසයි.
ආපදා කළමනාකරණ ජාත්යන්තර සමුළුවට සහභාගී වීම සඳහා ජිනීවා නුවර බලා ගිය අවස්ථාවේ ස්විට්සර්ලන්තයේ ප්රමුඛ පෙළ අත් ඔරලෝසු සමාගම් කිහිපයක නියෝජිතයන් හමු වී ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සඳහා අවස්ථාවක් උදා වූ බවයි නියෝජ්ය අමාත්යවරයා කියා සිටියේ.
රුවන්පුරේ මිණිකැට බැංකොක් වෙළඳුන් හා අතරමැදියන් හරහා ජාත්යන්තර වෙළඳපොළට ඉදිරිපත් කෙරෙන බව පවසන අමාත්යවරයා, දුක් මහන්සියෙන් සොයා ගන්නා මිණිකැටවලින් ලාභ ලබන්නේ මැණික් කර්මාන්තයේ යෙදෙන රත්නපුරේ ජනතාව නොව බැංකොක් නුවර පදනම් කර ගත් අතරමැදියන් බව පෙන්වා දෙයි.
"විශේෂයෙන්ම මහින්ද චින්තනයේ සහ ඉදිරි දැක්මේ තිබුණු පොරොන්දු දෙකක් තමයි දෙවාරයේම, මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා රත්නපුර දිස්ත්රික්කයට ආවේනික මැණික් කර්මාන්ත පුරයක්, කේන්ද්රස්ථානයක් බිහි කරනවා කියලා. නමුත් ඒක වුණේ නැහැ," නියෝජ්ය අමාත්යවරයා පැවසීය.
'හොද වෙළඳපළක්'
"ලොව සුපතළ අත් ඔරලෝසුවල බාහිර අලංකාරය සඳහා යොදා ගනු ලබන්නේ ඉතා කුඩා ප්රමාණයේ ක්රාත් 3-8 ත් අතර බර ප්රමාණයේ මැණික් ගල්.කරාබු, මාල වැනි ආභරණ වලට වගේ ලොකු ගල් අවශ්ය නැහැ ඔරලෝසු වලට. මේක සුළු මැණික් ව්යාපාරිකයින්ට අත දිය හැකි හොද වෙළඳපළක්."

ඡායාරූප මූලාශ්රය, Getty
රත්නපුර දිස්ත්රික්කයේ මැණික් කර්මාන්තයේ නියුතු පතල්කරුවන්ට දෛනික වැටුපක් නොලැබෙන අතර කුඩා ප්රමාණයේ මැණික් ගල් විකුණා එවැනි පතල්කරුවෝ සිය බත සරි කර ගනිති.
එවැනි කුඩා ප්රමාණයේ ගල් මිලදී ගන්නා සුළු මැණික් ව්යාපාරිකයින් එම මැණික් ගල් ඛාණ්ඩ වශයෙන් විකුණන්නේ බැංකොක් වෙළඳපොළ පදනම් කර ගත් අතරමැදියන්ටයි.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා ස්විට්සර්ලන්ත ඔරලෝසු සමාගම්වල ප්රධානීන් දැනුවත් කොට ඒ සඳහා අවශ්ය ප්රචාරණය ලබා දීමට අවශ්ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමු වී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි නියෝජ්ය අමාත්යවරයා කියා සිටියේ.
'මූලික පියවර'

ඡායාරූප මූලාශ්රය, Nuwanasela Pilimatalawwe
"මැණික් කැටය කොතනින්ද එන්නේ ඒ සමාගම්වල ප්රධානීන් සහ ගැනුම්කරුවන්ට පෙන්නලා දීලා, අපිට ඒ අවස්ථාව අවුරුද්දකට, නැතිනම් අවුරුදු පහකට ලබා ගන්න පුළුවන්. මැණික් කර්මාන්තේ ඉන්න සුළු ව්යාපාරිකයන්ටත්, ගල් කැපුම්කරුවන්ටත් අත හිත දෙන්න, අපට මේ හරහා පුළුවන්."
ස්විට්සර්ලන්තයේ ශ්රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ ප්රමුඛ තානාපති කාර්යාලය හරහා ලෝක වෙළඳ ආයතනයේ ශ්රී ලංකා නියෝජිතවරයා හමු වී අනතුරුව ස්විට්සර්ලන්ත-ආසියානු වාණිජ මණ්ඩලයේ ප්රධාන නියෝජිතවරයා සමග ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත් බවත් රත්නපුර දිස්ත්රික්කය නියෝජනය කරන නියෝජ්ය අමාත්යවරයා පැවසුවේය.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රචාරණ අනුග්රාහකත්වය ලබා දෙන ස්විට්සර්ලන්ත ඔරලෝසු සමාගමේ ප්රධාන නියමුවකු හමු වූ බව පවසන නියෝජ්ය අමාත්යවරයා: "ඒ අය කැමතියි අපි මේ සම්බන්ධයෙන් දක්වන ධනාත්මක ආකල්පය ගැන. ඒ ගොල්ලන්ට වැඩිය අවශ්ය වන්නේ අපිටයි අපේ කර්මාන්තය ඉදිරියට ගෙන්න. ඒ සඳහා රාජ්ය අනුග්රහය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා," වැඩිදුරටත් කියා සිටියේය.




























