මහින්ද මොන මැයි රැළියේද?

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම පාර්ශවවල සහභාගීත්වයෙන් එක්සත් මැයි රැළියක් පැවැත්වීමට ඇති හකියාව පිළිබඳ අවිනිශ්චිත තත්වයක් පවතියි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහු සමග සිටින පක්ෂයේ සෙසු සාමාජිකයන් සහභාගී කරවා ගනිමින් එක් මැයි රැළියක් පැවැත්වීමට තමන් සාකච්ඡා පවත්වමින් සිටින බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්ය මහින්ද අමරවීර සංදේශයට කියා සිටියේ.
'මොකද අපි මීළඟ මැතිවරණය දිනන්න නම් මැයි රැළිය ඒකට පවත්වලා වැඩි සෙනගක් සම්බන්ධ කර ගැනීමයි වැදගත් වෙන්නේ. අපි බෙදුනොත් අපේ අනාගතයට තමයි හොඳ නැත්තේ.' අමාත්යවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් බැහැරව වෙනත් මැයි රැළියක් පවත්වන්නේ දැයි යන්න සම්බන්ධයෙන් මෙතෙක් පක්ෂය දැනුවත් කර නොමැති බවත් ඔහු පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය

ඡායාරූප මූලාශ්රය, Dinesh Gunawardena
ශ්රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය ගාල්ලේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන මැයි දින රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන් සහභාගී වන බවයි පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන කියා සිටින්නේ.
'අපි මේ තීරණය ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගත් සාකච්ඡා කරලා. එතුමා පැහැදිලිවම මේ වැඩපිලිවලේ සිටිනවා.' ඔහු ඒ බව සඳහන් කළේ සඳුදා කොළඹ පැවති මාධ්ය හමුවක් අමතමිනුයි.
ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය කොළඹ කිරුලපනදී පැවැත්වීමට නියමිතයි.




























