දිල්මා රූසෙෆ්ට එරෙහි දෝෂාභියෝගය පෙරට

President Dilma Rousseff speaks during the opening ceremony of the National Policy Conference for Women in Brasilia
Published

බ්‍රසීල ජනාධිපතිනි දිල්මා රූසෙෆ්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් සභාව තුළ වැඩි ඡන්දයෙන් සම්මත විය.

සෙනෙට් සභිකයන් විසි දෙදෙනෙකු ජනාධිපතිනියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළත් වැඩි ඡන්ද පනස් පහක් ලද දෝෂාභියෝග යෝජනාව ඉදිරියට යාමත් සමග දිල්මා රූසෙෆ් බ්‍රසීල ජනාධිපති ධුරයේ ක්‍රියාත්මක වීම වහාම අත්හිටවනු ඇත.

බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත් වූ ප්‍රථම කාන්තාව වන දිල්මා රූසෙෆ් බලයෙන් ඉවත් කෙරුණොත් ඒ සමග එරට වසර දහ තුනක් මුළුල්ලේ පාලන බලය මෙහෙයවූ වාමාංශික දේශපාලනයේ බලය බිඳ දැමෙන අතර ඒ සමගම මිලියන ගණනක බ්‍රසීල ජනතාව දිළිඳු භාවයට ඇද දැමූ රටේ ආර්ථික පරිහානිය අවසන් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

A woman protests against Brazil's President Dilma Rousseff calling for her impeachment at Paulista avenue in Sao Paulo, Brazil, May 11, 2016

2014 වසරේ ජනාධිපතිවරණය වෙනුවෙන් තරග වැදුණු අවස්ථාවේ සිය ජයග්‍රහණය වෙනුවෙන් වාසි වන අයුරින් රජයේ ගිණුම් තොරතුරු නීති විරෝධී ලෙස වෙනස් කිරීම් වලට භාජනය කළ බවටයි ජනාධිපතිනිය රූසෙෆ් චෝදනා ලැබ සිටින්නේ.

කෙසේ වෙතත් ඇයට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා ජනාධිපතිනිය තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඇය කියා සිටියේ දෝෂාභියෝගය පැරදවීම වෙනුවෙන් සිය උපරිම ශක්තියෙන් සටන් කරන බවයි.

දෝෂාභියෝගය බ්‍රසීල සෙනෙට් සභාවට ඉදිරිපත් කිරීමට පෙර දිල්මා රූසෙෆ් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමින් දෝෂාභියෝගය ගෙන ඒම වැළක්වීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.

Women protest against the impeachment of President Dilma Rousseff at Paulista avenue in Sao Paulo, Brazil, May 11, 2016.