‘යළි උපදින්නට’ අධිශීතකරණයකට ගිය බ්රිතාන්ය දැරිය

ඡායාරූප මූලාශ්රය, Science Photo Library
කිසියම් ලෙසකින් අනාගතයේ දිනෙක සිය රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකි වෙතැයි බලාපොරොත්තුවෙන් සිය මළ සිරුර අධිශීතකරණයක තැන්පත් කරන්නැයි 14 හැවිරිදි දැරියක කළ ඉල්ලීමට බ්රිතාන්ය අධිකරණයේ අනුමැතිය හිමි විය.
එම ඓතිහාසික අධිකරණ තීන්දුව දෙනු ලැබුවේ ඉතා දුර්ලභ පිළිකාවකින් පෙළුණු එම දැරිය මිය යාමට සුලු වේලාවකට පෙරය.
සිය මළ සිරුර කල් තබාගන්නා මෙන් දැරිය කළ ඉල්ලීමට ඇයගේ මව සහාය දැක් වූ නමුත් පියා එයට දැඩි විරෝධය පළ කළේය.
තමන්ට 'දිගු කලක් ජීවත්වීමට අවශ්ය' බව විනිසුරුවරයාට ලිපියකින් දැනුම් දුන් දැරිය, 'පොළව යට වලදමනු ලැබීමට' සිය කැමැත්තක් නොමැති බවත් කියා සිටියාය.
ඇයගේ ඉල්ලීම ප්රකාර පසුගිය ඔක්තෝබර් මාසයේ මියගිය දැරියගේ දේහය ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙන ගොස් එහි තැන්පත් කර තිබේ.
එහෙත් ඇයගේ ඉල්ලීම ප්රකාශයට පත්වූයේ ඉන් සති ගණනාවකට පසුවය.

ඡායාරූප මූලාශ්රය, PA
සිය දියණියගේ දේහය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර තීරණය කිරීමට මවට බලය දිය යුතු බව, මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව විණි.
ලන්ඩනයේ වාසය කළ එම දැරිය සිය ජීවිතයේ අවසාන මාස කිහිපය තුළ සිරුරු කල් තබාගැනීම පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ කරුණු සොයා බලා තිබේ.
දැරිය විනිසුරුවරයාට යොමු කළ ලිපියෙන් කොටසකි මේ.
"මම මේ අසාමාන්ය ඉල්ලීම කරන්නේ ඇයි කියල පැහැදිලි කරන්න කියල මගෙන් ඉල්ලීමක් කරල තියෙනව. මට තාම අවුරුදු 14 යි. මට මැරෙන්න ඕනේ නෑ. ඒත් මම දන්නව මම මැරෙනවා කියල" යනුවෙන් ඇය ලිපියේ සඳහන්කර ඇත.
"මගේ සිරුර කල් තබාගත්තොත් තව අවුරුදු දාහකට පස්සේ හරි මට සුවය ලබලා ආයෙත් නැගිටින්න අවස්ථාවක් ලැබේවි කියල මම හිතනවා. පොළව යට වැලලෙන්න මම කැමති නෑ. ඒ නිසා මට මේ අවස්ථාව ලබාදෙන්න. මගේ අවසාන ඉල්ලීම ඒකයි."
එම ඉල්ලීම පිළිබඳව කරුණු සොයා බැලීම පිණිස දැරිය ප්රතිකාර ලැබූ රෝහල වෙත ගිය පීටර් ජැක්සන් විනිසුරුවරයා ඇයගේ ඒ අසාමාන්ය ඉල්ලීම පිළිබඳව තමන් කම්පාවට පත් වූ බව සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්රය, CHRISSIE DE RIVAZ
සිය තීන්දුව මළ සිරුරු කල් තබාගැනීම වැරදිද, නිවැරදිද යන්න සම්බන්ධ තීන්දුවක් නොවන බව සඳහන් කළ විනිසුරුවරයා, එය සිය දියණියගේ මළ සිරුරේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මව සහ පියා අතර හටගත් මතභේදය සම්බන්ධ තීන්දුවක් පමණක් බව අවධාරණය කළේය.
පසුගිය සැප්තැම්බර් 26 වැනි දින අධිකරණයට ඉදිරිපත් වූ ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරුවරයා සිය තීන්දුව ප්රකාශයට පත් කළේ පසුගිය ඔක්තෝබර් 06 වෙනිදා ය.
ඉතාමත්ම පහළ උෂ්ණත්වයක් යටතේ (සෙන්ටිග්රේඩ් සෘණ 130 ට අඩු) නයිට්රජන් දියරයේ බහා මේ ආකාරයට මළ සිරුරු කල් තබාගැනීමේ පහසුකම් රුසියාවේ සහ එක්සත් ජනපදයේ පවතින නමුත් බ්රිතාන්යයේ එවැනි පහසුකම් නැත.
කාලසීමාවකින් තොරව එම දැරියගේ සිරුර කල්තබාගැනීම පිණිස වැය වී ඇති මුදල බ්රිතාන්ය පවුම් 37,000 කි.



























