ඇමෙරිකානු ජනපතිවරණය : ඡන්ද යළි ගණනයට ක්ලින්ටන් සහය

ඡායාරූප මූලාශ්රය, Getty Images
ඇමරිකානු ජනාධිපතිවරණයට අදාළව විස්කොන්සින් ප්රාන්තය තුළ යළි ඡන්ද ගණනයකට හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ව්යාපාරය ද එක්වන බව එහි නීතිඥයකු පවසයි.
හරිත පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව වූ වෛද්ය ජිල් ස්ටයින් විසින් ඡන්ද යළි ගණන්කිරීමේ වැඩපිළිවෙලට මුල පුරන ලද අතර මිචිගන් හා පෙන්සිල්වේනියා ප්රාන්තවල ද ඡන්දය යළි ගණන් කළ යුතු බව ඈ ඉල්ලා සිටින්නේ 'සංඛ්යාලේඛන අක්රමිකතා' සිදුවී ඇතැයි පෙන්වා දෙමිනි.
ජනාධිපතිවරණයේ ප්රතිඵලය වෙනස්කිරීමට නම් අදාළ ප්රාන්ත තුනේ ම ඡන්ද ප්රතිඵල වෙනස්විය යුතුය.
විස්කොන්සින් ප්රාන්තයේදී ඉතා සුළු වෙනසකින් ජයග්රහණය ලද ඩොනල්ඩ් ට්රම්ප්, මෙම පියවර හඳුන්වා දෙන්නේ 'කූටෝපක්රමයක්' ලෙසිනි.
ජනතාවගේ පරිත්යාග හරහා ඡන්දය යළි ගණන්කිරීමට අරමුදල් සපයන ජිල් ස්ටයින්ගේ මෙම පියවර, "ඇගේ පෙට්ටගම් මුදල්වලින් පිරවීමේ මගක්" යනුවෙන් ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින ට්රම්ප් පෙන්වා දුණි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ "අභියෝග කිරීම හා අපයෝජනය කිරීමෙන් බැහැරවී මේ මැතිවරණයේ ප්රතිඵලවලට ගරු කළ යුතුයි " යනුවෙනි.
මැතිවරණය කඩාකප්පල්කාරී වූවක් යැයි නිගමනයකට ඒමට තරම් සාක්ෂි නොවූව ද, "නිවැරදි ඡන්ද ගණනයක් වාර්තාවන බව තහවුරු කිරීම සඳහා, හිලරි ක්ලින්ටන් වෙත ඡන්දය දුන් මිලියන 64ක ඇමෙරිකානුවන් වෙනුවෙන් අපට යුතුකමක් තිබෙනවා." යැයි ක්ලින්ටන් මැතිවරණ ව්යාපාරයේ නීතිඥ මාර්ක් එලියස් පැවසීය.

ඡායාරූප මූලාශ්රය, AP
ඡන්ද යළි ගණනය කිරීමට අදාළව හරිත පක්ෂයේ වෛද්ය ජිල් ස්ටයින් සිය පොරොන්දු ප්රකාරව ක්රියාකරන්නේ නම් 'ප්රතිපත්තිමය වශයෙන්' ක්ලින්ටන් මැතිවරණ ව්යාපාරය ද ඒ හා සම්බන්ධවන බව ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.
මැතිවරණයේදී ට්රම්ප් හට වාසිදායකවන අයුරින්, පරිගණක 'හැක්' කරන්නන් විසින් ඡන්ද ප්රකාශ කිරීමේ වෙනසක් සිදුකරනු ලැබ නැතැයි තහවුරු කරගැනීම අවශ්ය බව හරිත පක්ෂ අපේක්ෂිකාව සඳහන්කර ඇතැයි වාර්තා විය.
ඡන්දය ප්රකාශ කිරීමට ආසන්නයේදී රුසියානු මැදිහත්වීමක් සිදුවී ඇත්දැයි යන්න පිළිබඳ අවධානය යොමු වූ අතර ඩිමොක්රටික් ජාතික කමිටුවේ පරිගණක 'හැක්' කිරීම පසුපස රුසියාව වෙනුවෙන් ක්රියාකරන්නන් සිටි බව ඇමෙරිකානු රජය පවසා තිබිණි.
පෙත්සම් දෙකක්

ඡායාරූප මූලාශ්රය, Getty Images
මේ අතර, පසුගිය සිකුරාදා (නොවැ. 25) නිවේදනයක් නිකුත් කරමින් විස්කොන්සින් ප්රාන්ත මැතිවරණ කොමිසම පැවසුවේ, ජිල් ස්ටයින් මැතිවරණ ව්යාපාරය සහ මෙවර ජනාධිපතිවරණය සඳහා ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වයට තරග වැද අසාර්ථක වූ ව්යාපාරිකයකුවන රොකී රෝක් ඩි ලා ෆොන්ටේ වෙතින් ද ඡන්දය යළි ගණන් කිරීම සඳහා පෙත්සම් දෙකක් ලැබී ඇති බවය.
වෛද්ය ස්ටයින්ගේ මැතිවරණ ව්යාපාරයෙන් ලැබිය යුතු ගෙවීම තවමත් ගණනය කරමින් සිටින බව කී ප්රාන්ත මැතිවරණ කොමිසමේ පරිපාලක මයිකල් හාස්, එම ගෙවීම කිරීමෙන් සතියකට පසු ඡන්දය යළි ගණන් කිරීම ඇරඹෙනු ඇතැයි පෙන්වා දුන්නේය.
විස්කොන්සින්, පෙන්සිල්වේනියා හා මිචිගන් යන ප්රාන්ත තුනේ ම ඡන්දය යළි ගණන් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් රැස් කිරීමට වෛද්ය ජිල් ස්ටයින්ගේ මැතිවරණ ව්යාපාරයට සිදුවී ඇත. ඩොලර් මිලියන 7 ක් වූ ඉලක්කයෙන් ඩොලර් මිලියන 5.8ට අධික ප්රමාණයක් දැනටමත් රැස්කර ඇති බව ඇයගේ වෙබ් අඩවිය සඳහන් කරයි. එය විස්කොන්සින් හා පෙන්සිල්වේනියා ප්රාන්තවල යළි ගණනයකට ප්රමාණවත්වන බව ද එහි දැක්වේ.




























