"යේමනයට පහර දුන්නේ බ්‍රිතාන්‍යය හැදූ පොකුරු බෝම්බ වලින්"

"යේමනයට පහර දුන්නේ බ්‍රිතාන්‍යය හැදූ පොකුරු බෝම්බ වලින්"
Published

බ්‍රිතාන්‍යයේ නිපදවන ලද පොකුරු බෝම්බ යේමනයේ පවතින යුද ගැටුම් වලදී ප්‍රහාර එල්ල කිරීමට භාවිත කොට ඇති බව බ්‍රිතාන්‍ය රජය සනාථ කළේය.

බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් මයිකල් ෆැලන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 1980 දශකයේ බ්‍රිතාන්‍ය විසින් නිපදවනු ලදුව සෞදි අරාබිය විසින් මිලදී ගනු ලැබුණු පොකුරු බෝම්බ යේමනයේ ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිත කොට ඇති බවට සෞදි අරාබිය තමා දැනුවත් කළ බවය.

2010 දී ස්ථාපිත කරන ලද බ්‍රිතාන්‍ය නව නීති වලට අනුව රට තුළ පොකුරු බෝම්බ නිපදවීම සහ විකිණීම සපුරා තහනම් කෙරුණි.

"යේමනයට පහර දුන්නේ බ්‍රිතාන්‍යය හැදූ පොකුරු බෝම්බ වලින්"

පොකුරු බෝම්බ ප්‍රහාරයකින් පුළුල් පරාසයක් තුළ විසිරුණු සාමාන්‍ය වැසියන්ට සිදු කෙරෙන බරපතළ හානිය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි බ්‍රිතාන්‍ය රජය මෙම නව නීති ස්ථාපිත කරන ලද්දේ.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ බ්‍රිතාන්‍ය නිෂ්පාදිත පොකුරු බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට යොදා ගෙන ඇති බව සනාථ වීම ඉතා කණගාටුදායක පුවතක් බවය.

කෙසේ වෙතත් සෞදි අරාබියේ නායකත්වයෙන් හුතී කැරලිකරුවන්ට එරෙහිව යේමනයේ යුද වදින මිත්‍ර හමුදා වලට බ්‍රිතාන්‍ය රජයේ සම්පූර්ණ සහයෝගය ලැබෙමින් පවතින නමුත් 1989 න් පසු බ්‍රිතාන්‍යය සෞදි අරාබියට පොකුරු බෝම්බ විකුණා නැති බව ආරක්ෂක ලේකම් මයිකල් ෆැලන් සහතික කළේය.

බ්‍රිතාන්‍යය විසින් නිපදවනු ලැබූ BL-755 පොකුරු බෝම්බ මින් ඉදිරියට සෞදි අරාබිය විසින් භාවිත නොකරන බවද ඔහු පැවසුවේය.