'දූෂිත නිලධාරීන් හෙලිකොප්ටරයකින් එළියට තල්ලු කරනවා'

ඡායාරූප මූලාශ්රය, Reuters
පියාසර කරන හෙලිකොප්ටර්වලින් එළියට තල්ලු කර දමන බවට පිලිපීන ජනාධිපති රොද්රිගෝ දුතාර්තේ දූෂිත නිලධාරීන්ට තර්ජනය කරයි.
තමන් අතීතයේත් එවැනි ක්රියා සිදුකර ඇති බව ද ජනාධිපතිවරයා පවසයි.
"ඔබ දූෂිත නිලධාරියෙකු නම් මම හෙලිකොප්ටරයකින් ඇවිත් ඔබව මැනිලා වෙත රැගෙනවිත් ගුවනේ දී යානයෙන් පිටතට තල්ලු කරනවා." පිලිපීනයේ දරුණු මත් ද්රව්ය මර්දන වැඩපිළිවෙළක් මෙහෙයවමින් සිටින ජනාධිපති රොද්රිගෝ දුතාර්තේ ප්රකාශ කළේය.
ඊට අමතරව සිය අනුමැතිය යටතේ නීතියට පටහැනිව ඝාතන සිදු කළ බව ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබේ.

ඡායාරූප මූලාශ්රය, AFP
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මාධ්යය ප්රකාශක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉතා රළු ලෙස සිය අදහස් ප්රකාශ කරන පිලිපීන නායකයාගේ මෙම තර්ජනය ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතු නමුත් ඔහු කියන වචන එලෙසින්ම අවධානයට යොමු නොකළ යුතු බවය.
ජනාධිපතිවරයා විවාදයට තුඩු දෙන මෙම ප්රකාශය සිදු කළේ පසුගිය අඟහරුවාදා පිලිපීන අගනුවර හරහා හමා ගිය දැඩි කුණාටුවෙන් විපතට පත් වූවන් අමතමිනි.
මින් මාස හයකට පෙර පිලිපීනයේ බලයට පැමිණි නව ජනාධිපති රොද්රිගෝ දුතාර්තේ විසින් දියත් කළ දරුණු මත්ද්රව්ය මර්ධන වැඩ පිළිවෙළ යටතේ මේ වන විට හයදහසකට අධික මත්ද්රව්ය භාවිතා කරන්නන් සහ ජාවාරම්කරුවන් ඝාතනය කොට ඇති බව වාර්තා වේ.























