සෝමාලියාවේ හෝටලයක් තුළ පැය 15ක සටනක්

සෝමාලියාවේ මොගදිෂු අගනුවර හෝටලයක් තුළට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් සහ රජයේ ආරක්ෂක අංශ අතර පැවති සටනකින් 20 දෙනෙකු පමණ මරණයට පත් විය.
සන්නද්ධ කල්ලිය හෝටලයට කඩා වැදී ඇත්තේ අවට ප්රදේශයේ බෝම්බ දෙකක් පුපුරවා හැරීමෙන් අනතුරුව ය.
පැය 15ක් තිස්සේ සිදුකළ සටනකින් පසුව රජයේ ආරක්ෂක හමුදා විසින් හෝටලය මුදවා ගනු ලැබුණි. හෝටලය තුළ තවමත් සෝදිසි කිරීම් සිදුවන හෙයින් මිය ගිය සංඛ්යාව තවත් ඉහළ යා හැකි බවට සැක පහළ කෙරේ.
මෙම ප්රහාරය තමන් විසින් මෙහෙයවනු ලැබූ බව පවසමින් ඉස්ලාමීය අල්-ෂබාබ් සංවිධානය එහි වගකීම භාරගෙන තිබේ.
ඔවුන් කියා සිටින්නේ රජයේ ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් සහ දේශපාලනඥයන් නිතර ලැගුම් ගන්නා ස්ථානයක් වූ බැවින් මෙම හෝටලයට ප්රහාරයක් එල්ල කළ බවය.

බෝම්බයක් ඇටවූ මෝටර් රථයක් මෙම හෝටලය තුළට පදවා එය පුපුරවා හැරීමෙන් අනතුරුව ඊට නුදුරින් පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට තවත් බෝම්බයක් පුපුරා ගියේය.
මිය ගිය අය අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද සිටින බව පොලිස් නිලධාරී අල් නූර්, රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. මිය ගිය පොලිස් නිලධාරීන් එම හෝටලය ඉදිරිපිට සේවයේ යොදවා සිටි අය වෙති.
තවත් බොහෝ පිරිසකට තුවාල සිදු වී ඇති බව වාර්තා වෙයි. රැය පහන්වන තුරුම හෝටලය තුළ බිහිසුණු වෙඩි හුවමාරුව පැවති බව සාක්ෂිකරුවෝ පවසති.

මීට දෙසතියකට පෙර සෝමාලියාවේ සිදු වූ බෝම්බ ප්රහාරයට ගොදුරු වී 358 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. තවත් 56 දෙනෙකු අතුරුදහන් ය. එය 2007න් පසු සෝමාලියාවේ සිදු වූ දරුණුතම ප්රහාරය ලෙස සැලකේ.
පසුගිය ඔක්තෝම්බර් 14 වැනිදා සිදු වූ එම ප්රහාරට තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව අල්-ෂබාබ් සංවිධානය නිවේදනය කළේය. අල්-ෂබාබ් යනු අල්-ඛයීඩා සංවිධානයට අනුබද්ධිත ඉස්ලාමීය සංවිධානයකි.
අල්-ෂබාබ් සංවිධානයට එරෙහිව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීම සඳහා සාකච්ඡා කිරීමට ආරක්ෂා අංශ, බුද්ධි අංශ සහ ආණ්ඩුවේ බලධාරීන් අද (ඉරිදා) රැස්වීමට නියමිතය.































