මධ්යධරණී මුහුදේ යාත්රාවක් පෙරළීමෙන් සංක්රමණිකයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට

ඡායාරූප මූලාශ්රය, Reuters
ටියුනීසියාව ආසන්නයේ මධ්යධරණී මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් සංක්රමණිකයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) පවසයි.
එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, පුද්ගලයින් 16 දෙනෙකු බේරාගෙන ඇති බවය.
දිවි ගලවා ගත් පුද්ගලයින් පවසා ඇත්තේ, අදාළ යාත්රාව ලිබියාවේ සුවාරා සිට යාත්රා කළ අතර මුහුදු රළ සැඩ වීම හේතුවෙන් ඔවුන් අනතුරට ලක්වූ බවය.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ සංඛ්යාලේඛන අනුව, 2019 වසරේ ගෙවුණු මාස 4ක කාලය තුළ ලිබියාව සහ යුරෝපය අතර මුහුදේදී පුද්ගලයින් 164 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර මේ වසරේදී මෙතෙක් සිදුවූ බරපතළ ම මාරාන්තික මුහුදු අනතුරක් ලෙස සැලකේ.
අනතුරෙන් දිවි බේරා ගත් පුද්ගලයින් ටියුනීසියානු නාවික හමුදාව විසින් එරට වෙරළ තීරයට රැගෙන එනු ලැබ ඇති අතර එම පිරිස රට තුළට රැගෙන ඒම සඳහා අවසර ලැබෙන තෙක් රඳවාගෙන සිටී. එක්සත් ජාතීන්ගේ සරණගාතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ, එක් පුද්ගලයෙකු ප්රතිකාර සඳහා රෝහල්ගත කෙරුණු බවය.
අනතුර පිළිබඳව වාර්තා වූ සැණින් ටියුනීසියානු නාවික හමුදාව ඔවුන් බේරා ගැනීම සඳහා යාත්රාවක් පිටත් කර යවා ඇති අතර, ඔවුන් එහි යන අතරතුර ධීවර යත්රාවක් මගින් අදාළ පිරිස රැගෙන එමින් සිට ඇති බව ටියුනීසියාවේ ආරක්ෂක අමාත්යංශය නිකුත්කළ නිවේදනයක දැක්වේ.
මෙම සංක්රමණිකයින් පිරිස අප්රිකාවේ උප සහරා කලාපයේ රටක සිට පැමිණ ඇතැයි විශ්වාස කෙරේ.
එක්සත් ජාතීන්ගේ සරණගාතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වින්සන්ට් කොචිටෙල් (Vincent Cochetel) නිකුත් කළ නිවේදනය සඳහන් වන්නේ, "මධ්යධරණී මුහුද තරණය කිරීමට උත්සහ කරන්නන්ට මුහුණ දීමට සිදු විය හැකි අනතුරු සම්බන්ධයෙන් මෙය ශෝකජනක සහ බිහිසුණු උදාහරණයකි," යනුවෙනි.

ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ, අනතුරට පත්වූ යාත්රාවේ සිටි සංක්රමණිකයින් සංඛ්යාව වාර්තා වී ඇති සංඛ්යාවට වඩා වැඩි විය හැකි අතර මිය ගිය සංඛ්යාව ද වැඩි විය හැකි බවය.
සෑම වසරකදී ම සංක්රමණිකයින් දහස් ගණනක් මධ්යධරණී මුහුද තරණය කර යුරෝපයට ඇතුළු වීමට උත්සහ දරන අතර වැඩි ම පිරිසක් පැමිණෙන්නේ ලිබියාවේ සිටය.
අබලන් තත්ත්වයේ යාත්රා භාවිත කිරීමත්, යාත්රාවලට ඔරොත්තු නොදෙන තරම් පුද්ගලයින් නංවා ගැනීමත් හේතුවෙන් මෙවැනි අනතුරුවලින් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෙසේ වෙතත්, 2017 වසරේ මැද භාගයේ සිට සංක්රමණිකයින්ගේ යාත්රා ක්රමානුකූලව අඩු විය.
මෙම අඩු වීමට හේතු වූයේ, ඉතාලිය ලිබියානු ආරක්ෂක හමුදා සමග එක්ව සංක්රමණිකයින් ලිබියාවේ සිට යුරෝපයට පැමිණීම වැළැක්වීමට ක්රියා කිරීමයි. එය මානව හිමිකම් සංවිධානවල විවේචනයට ලක් විය.
2019 වසරේ පළමු මාස 3 තුළදී සරණාගතයින් 15900 දෙනෙකු මධ්යධරණී මුහුද හරහා යුරෝපයට පැමිණ ඇති අතර, එය 2018 වසරේ අදාළ කාල පරිච්ඡේදයේ වාර්තා වූ සංඛ්යාවට වඩා 17%ක පහළ යාමකි.
පසුගිය ජනවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ සංගමයේ වාර්තාවක දැක්වුණේ, 2018 වසරේදී සෑම දිනක ම මධ්යධරණී මුහුද තරණය කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
තවදුරටත් කියවන්න:



























