ඉන්දියාවේ නව ජනාධිපති වැඩ භාර ගනී

ඉන්දියාවේ නව ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ නව ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී
Published

ඉන්දියාවේ නව ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී, අද පදවියේ වැඩ කටයුතු ආරම්භ කළ අතර ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුරයක් ද පැවැත්විනි.

ප්‍රනාබ් මුකර්ජී, ඉන්දියානු පාලක කොන්ග්‍රස් පක්ෂයේ මුල් පෙළේ නායකයෙක්.

රටේ ආර්ථිකය පසුබෑමකට ලක්වෙමින් තිබෙන අතරවාරයේ, දූෂණ අපචාර රාශියක් නිසා එල්ල වෙමින් ඇති බලපෑම හමුවේ, ප්‍රනාබ් මුකර්ජී ජනාධිපතිවරයා හැටියට පත්වීම කොන්ග්‍රස් පක්ෂයට විශාල ශක්තියක් යළි අත් කර දුන් බවයි, වාර්තාකරුවන් පවසන්නේ.

ඉන්දියානු ජනාධිපති නිලය ගෞරවාන්විත පදවියක් වන්නේ නමුත්, මීළඟ මහා මැතිවරණයේදී කිසිදු පක්ෂයක් නිශ්චිත බහුතර ආසන සංඛ්‍යාවක් දිනා නොගත්තොත්, නව අගමැතිවරයකු නම් කිරීමේදී ප්‍රනාබ් මුකර්ජිට ඔහුගේ අභිමතය පරිදි තීන්දුවක් ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

ඉන්දියාවේ පළමු කාන්තා ජනාධිපතිවරිය වූ ප්‍රතිභා පතෙල් ගේ නිල කාලය නිමවීමෙන් ඇති වුන පුරප්පාඩුවටයි ප්‍රනාබ් මුකර්ජී පත්කර ගනු ලැබුනේ.