ෂූමාකර් ගේ තත්වය බරපතළයි

Published
කියවීමේ කාලය: මිනිත්තු 1

හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නියැලී සිටිය දී හදිසි අනතුරකට ලක් වී රෝහල් ගත කරන ලද මෝටර් රථ ධාවනයේ ලෝක ශූරයෙකු වූ මයිකල් ෂූමාකර් ගේ තත්වය තවමත් බරපතළ බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරුන් පවසන්නේ ෂූමාකර්ගේ හිසට බරපතළ හානි සිදු වී ඇති අතර මේ වන විට ඖෂධ ආධාරයෙන් සිහි මූර්ඡාවේ තබා ඇති බවයි.

මයිකල් ශූමාකර් ඊයේ (ඉරිදා) මෙම අනතුරට ලක් වූයේ ප්‍රංශයේ ඇල්ප්ස් කඳු වැටියේ හිම ක්‍රීඩාවේ යෙදී සිටියදීයි.

මේ වන විට මොළයේ හදිසි සැත්කමක් සිදු කර ඇති අතර ෂූමාකර්ගේ සෞඛ්‍ය තත්වයේ වර්ධනය පිළිබඳව අනාවැකි පළ කිරීමට ඉක්මන් වැඩි බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ප්‍රංශයේ 'ග්‍රෙනබල්' රෝහලේ සිහිසුන් තත්වයේ පසු වෙන ධාවන ශුරයා ගොඩ ගැනීමේ උත්සාහයේ නිරත එක් වෛද්‍යවරයකු වන ෂෝන් ෆ්රාන්ෂුවා පෙයන් (Jean Francois Payen)පවසන්නේ,ෂූමාකර් ගේ තත්වය සම්බන්ධයෙන් අනාවැකි කිවනොහැකිබවයි.

ඖෂධ මගින් සිහි මුර්ඡා කොට

“මොලය පිරික්සීමකින් අනතුරුව ෂූමාකර් වහාම ශල්‍ය කර්මයකට භාජනය කෙරුනා. ඔහු සිටියේ ඉතාම බරපතල තත්වයක. සැත් කමින් පසුව ඖෂධ ආධාරයෙන් ඔහු සිහි මුර්ඡා කර තැබීමට අපි යළිත් පියවර ගත්තා"වෛද්‍යවරයා පවසයි.

අනතුර සිදුවන මොහොතේ ෂූමාකර් ආරක්‍ෂිත හිස් වැස්මක් පැළඳ සිට ඇති හෙයින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූ බවත් වෛද්‍යවරු පවසති.

ෂූමාකර් පත්ව ඇති තත්වය ලොව පුරා ම ඔහුගේ ක්‍රීඩා ලෝලීන් තුළ බලවත් කම්පනයක් ඇති කර තිබෙන බවත් වාර්තා වෙයි .ඔහු වෙනුවෙන් සුවය පතා ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගෙන් සහයෝගය පළ වෙමිනුයි පවතින්නේ.

ඉතාලි ක්‍රීඩා ලෝලියකු වන සල්වටෝර් ටරන්ටිනෝ අදහස් දක්වමින්,“ෂූමාකර් අයත් වෙන්නේ, කෝමා තත්වයෙන් පස්සෙ ආයෙත් ෆොර්මියුලා තරඟ දිනන්න පුළුවන් පරම්පරාවටයි.”යනුවෙන් පවසයි.

ක්‍රීඩා ලෝලීන්ගේ පැතුම්

ඒ අතරවාරයේ මොනිකා නම් ක්‍රීඩා ලෝලිනියක් කීවේ මෙලෙසයි.“ෂූමාකර්! ඔබ ශක්තිමත් මිනිසෙක්! ශූරයෙක්! සටන්කාමියෙක්!මයිකල් ! ඔබ සුවය ලැබීම සම්බන්ධයෙන් පවතින්නේ අපමණ ශුභවාදී බලාපොරොත්තු!”

එම බලාපොරොත්තුව වඩාත් කුළු ගන්වන්නේ අන්තෝනි මසාඩ් ක්‍රීඩා ලෝලියා විසිනුයි.

“ෂූමාකර්! ඔබ හුඟක් තරඟ දිනලා තියෙනවා.අනේ! මරණය සමඟ සිදු කරන තරඟයෙනුත් ජය ගන්න! වීරයෙක් වෙලා ආයෙත් එන්න!

මෙය මයිකල් ෂූමාකර් හදිසි අනතුරකට පත් පළමු අවස්ථාව නොවෙයි.2009 වසරේ පෙබරවාරියේ ස්පාඤ්ඤයේ දී ඔහු යතුරු පැදි අනතුරකට ලක් වී ඇත.

එම අනතුරින් බෙල්ලට සහ කොඳු ඇට පෙලට හානි සිදු වුනත් සුවය ලැබ යලිත් ෆොර්මියුලා තරඟ වලට සහභාගී වීමට තරම් ශක්තිමත් ක්‍රීඩා තරුවක් මයිකල් ෂූමාකර්.