ඉරානයට එරෙහි සම්බාධක ළිහිල් කෙරෙයි

ඉරාන් න්‍යෂ්ටික බල මධ්‍යස්ථානයක්.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාන් න්‍යෂ්ටික බල මධ්‍යස්ථානයක්.
Published

ඉරානය න්‍යෂ්ටික ගිවිසුමේ එකඟතා ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇතැයි ජගත් පරමාණු බල ශක්ති අධිකාරිය ප්‍රකාශ කරයි.

යුරේනියම් ජව ගැන්වීමේ සිය වැඩ පිළිවෙළ අත් හිටවනු ලැබීම අධීක්ෂණය කරනු පිණිස එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂකයන් ටෙහෙරාන් නගරයට ලඟා වී සිටින බව ඉරාන රූපවාහිනිය මගින් ඉන් පෙර නිවේදනය කරනු ලැබයි තිබුණේ.

එක්සත් ජාතීන්ගේ ආයතනයක් වන ජාත්‍යන්තර පරමාණු බල ශක්ති අධිකාරියේ ප්‍රධානී කියා ඇත්තේ ඉරානයට එරෙහිව පනවා තිබූ ‘සම්බාධක හිම කන්ද’ දැන් දිය වෙන්නට පටන් ගෙන ඇති බවයි.

ඇති කර ගනු ලැබ තිබෙන ගිවිසුමේ කොන්දේසි අනුව ඉරානය යුරේනියම් බල ගැන්වීම සියයට විස්සකින් අඩු කළ යුතුයි.

'හිමකන්ද' දිය වෙයි

ඉරානයට එරෙහි සම්බාධක ඛනිජ තෙල් හිඟයකට හේතු වීමෙන්.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරානයට එරෙහි සම්බාධක ඛනිජ තෙල් හිඟයකට හේතු වීමෙන්.

ඊට හිලව් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා හවුල ඉරානයට එරෙහි සම්බාධක අවම කිරීමට පියවර ගත යුතු බවටයි දෙපාර්ශවය ගිවිස ගෙන තිබෙන්නේ.

මේ ගිවිසුම අනුව ඉරානයේ පෙට්‍රෝ රසායන ඇතුළු වෙනත් අපනයන සඳුදා පටන් යළි ආරම්භ කළ හැකි වෙයි.

සඳුදා ක්‍රියාවට නැංවිය යුතු සැලසුම් අර්බුදයකින් තොර පෙරට ගියොත් ඉරානයත් සමඟ නිශ්චිත ගිවිසුමක් ඇති කර ගැනීමේ තවත් සාකච්ඡා වටයක් ඉදිරි සති කීපය තුළ ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි යුරෝපා හවුලේ විදේශ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී කැතරින් ඈෂ්ටන් බලාපොරොත්තු පළ කරයි.