රවීන්ද්‍රන් දේහය ලබා දෙන බවට ප්‍රතිඥාවක්

දේහය ඉල්ලා සිටින දෙමව්පියන්
ඡායාරූප ශීර්ෂ වැකිය, දේහය ඉල්ලා සිටින දෙමව්පියන්
Published

එක්සත් අරාබි එමීරයේ දී අධිකරණ නියෝගයක් අනුව වෙඩි තබා මරා දැමුණ රවින්ද්‍රන් ක්‍රිෂ්ණපිල්ලේ ගේ පවුලේ සාමාජිකයන් තම ඥාතියාගේ මරණය සම්බන්ධයෙන් තවමත් වැලපෙමින් පසු වෙන ආකාරයයි, කොම්මාතුරයි හි චෙන්ගලාඩි ගමේ ඔහුගේ නිවසට බීබීසී ය වෙනුවෙන් ගිය ශාන්ති සෙල්වදුරේ ට දැක ගත හැකි වුණේ.

තම පුත්‍රයා ගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් තවමත් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි රවින්ද්‍රන් ක්‍රිෂ්ණපිල්ලේ ගේ දෙමව්පියන් ශාන්ති සෙල්වදුරේ සමඟ ප්‍රකාශ කළේ.

තම සහෝදරයාට නියම කොට තිබුණ දඬුවම අවම කර ගැනීමට හෝ ඔහු මුදා ගැනීමට ගත් උත්සාහයේ දී රජයෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබුණ බව, රවින්ද්‍රන් ක්‍රිෂ්ණපිල්ලේගේ සහෝදරියක් වන කෝමලදේවී ක්‍රිෂ්ණපිල්ලේ ප්‍රකාශ කළාය.

“ජනාධිපතිතුමාට ලියුම් ලිව්වා. විදේශ කටයුතු ඇමතිවරයා හම්බ වෙන්න ගියා. ඒත් බැරි වුනා .විස්තර සහිත ලිපි ගොනුවක් බාර දී ආවා. පිළිතුරු ලැබුණේ නැහැ. මානව හිමිකම් කොමිසමට ගියා. මානව හිමිකම් කොමිසම කිව්වා , ඩුබායි ගිහින් පුතා බලලා සමාව ගන්න උත්සාහ කරන්න කියල.” කෝමලදේවී ක්‍රිෂ්ණපිල්ලේ පවසන්නීය.

අතවරයකින් බේරීමට

පවුලේ නෑදෑයන් තවමත් කඳුලින්
ඡායාරූප ශීර්ෂ වැකිය, පවුලේ නෑදෑයන් තවමත් කඳුලින්

රවීන්ද්‍රන් ක්‍රිෂ්ණපිල්ලේ ගේ මව නාගරත්නම් ක්‍රිෂ්ණපිල්ලේ බීබීසී යේ ශාන්ති සෙල්වදුරේ සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, ලිංගික අතවරයකින් බේරීමට ගත් උත්සාහයේ දී පුද්ගලයකු වාහනයකට යට කිරීමට සිදු වූ බව තම පුතා තමාට ප්‍රකාශ කළ බවයි.

“මගේ පුතා ඔටුවන්ට කෑම දීමට කාන්තාරයට ගිය අවස්ථාවේ සුදු ජාතිකයෙක්,අරාබි ජාතිකයෙක් සහ තවත් කෙනෙක් යම් බීමක් අර ගෙන ඉඳල තියෙනවා. ඒ අය සම ලිංගික ඇසුරකට පුතාට බල කරමින් හිරිහැර කළ අවස්ථාවේ, එය ඉවසා ගත නොහැකි නිසා වාහනයකට හැප්පූ බවත්, එසේ නො වුනා නම් එම අරාබි ජාතිකයා තමා මරා දමන්න ඉඩ තිබුණු බවත් පුතා අපට කිව්වා.” නාගරත්නම් ක්‍රිෂ්ණපිල්ලේ විස්තර කළාය.

මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණියගෙන් විමසීමක් කළ විට, එක්සත් අරාබි එමීරයේ දී මරණීය දණ්ඩනයට යටත් කෙරුණ රවීන්ද්‍රන් ක්‍රිෂ්ණපිල්ලේගේ දේහය ලබා ගැනීමට කළ ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගෙන ඇති බවත් ගැට‍ළුවකින් තොරව දේහය ගෙනැවිත් දෙන බවත් කියා සිටියේය.

රවීන්ද්‍රන් ක්‍රිෂ්ණපිල්ලේට එල්ල වූ චෝදනා වල බරපතළභාවය හමුවේ ඔහු මුදා ගැනීමට මැදිහත් වීමේ දුෂ්කර තත්වයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට තිබුණ බවත්,ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය පවසයි.