ඉන්දීය නාවික හමුදාපති ඉල්ලා අස් වෙයි

ඡායාරූප මූලාශ්රය, Reuters
ඉන්දීය නාවික හමුදාවට අයත් පැරණි සබ්මැරීනයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ගමන් කළ නැවියන් සත් දෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඉන්දීය නාවික හමුදාපතිවරයා පදවියෙන් ඉල්ලා අස් විය.
අද්මිරාල් ඩී.කේ.ජෝෂි අනතුර පිළිබඳ වගකීම භාර ගනිමින් පදවියෙන් ඉල්ලා අස් වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්යාංශය පවසයි.
ඉහත කී අනතුරින් තුවාල ලද නැවියන්ට අමතරව තවත් නැවියන් දෙදෙනකු ආ ගිය අතක් ගැන තොරතුරු නැති බව බලධාරීහු පවසති.
මුම්බායි වෙරළ අසල මුහුදේ දී සබ්මැරීනයේ ඩීසල් එන්ජිමේ ඇතිවූ දෝෂයක් නිසා පිටවූ දුම් ආඝ්රාණය කිරීමෙන් අනතුරට පත් නැවියන් ගුවන් මගින් රෝහල වෙත රැගෙන ගිය බවයි, නාවික හමුදා ප්රකාශකයෙක් සඳහන් කළේ.
රුසියාවේ නිෂ්පාදිත සබ්මැරීනය පුහුණු අභ්යාසයක් සඳහා යොදා ගනිමින් තිබියදී ඇතිවූ හදිසි දුමාරයක ප්රතිඵලයක් ලෙස එහි අගුළු ක්ෂණිකව වැසී ගොස් ඇති බවයි පැවසෙන්නේ.
මෙය ඉන්දියානු යුද නැව් සම්බන්ධ එවැනි අනතුරු පෙළක අලුත්ම සිද්ධියයි.
ඉන්දියාවේ යල් පැන ගිය යුද නැව් සහ නැවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්රශ්න මතු වීමට එවැනි අනතුරු හේතු වී ඇත.
රුසියාවේ නිෂ්පාදිත තවත් සබ්මැරීනයක් මුම්බායි හි හමුදා තටාකාංගනයක දී පසුගිය වසරේ පුපුරා ගිනි ගැනීමෙන් ඉන්දියානු නැවියන් දහ අට දෙනෙකු මරණයට පත් විය.



























