ඔස්ට්රේලියාවට එන අන්තවාදීන්ට "රෙඩ් කාර්ඩ්"

ඡායාරූප මූලාශ්රය, Gettty
අන්තවාදී අදහස් දේශනා කරන්නන් සහ සතුරු මතවාද පතුරවන්නන් රටට ඇතුල්වීම තහනම් කෙරෙන නීති රීති සම්පාදනය කෙරෙමින් පවතින බව ඔස්ට්රේලියා අගමැති ටෝනි ඇබට් පවසයි.
“රෙඩ් කාර්ඩ් සිස්ටම්” නම් ක්රම වේදයක් හඳුන්වා දීම තුළින් හඳුනා ගන්නා ඇතැම් පුද්ගලයන් ට වීසා නිකුත් නොකිරීමට කටයුතු කරන බවයි අගමැතිවරයා පවසන්නේ.
මේ සඳහා ආරක්ෂක සහ ආගමන විගමන නියෝජිත ආයතන අතර මනා සම්බන්ධීකරණයක් අවශ්ය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
දැනට පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කොට ඇති නීති සංශෝධන වලට අනුව ත්රස්තවාදයට අනුබල දෙන කණ්ඩායම් තහනම් කෙරෙන බවයි පැවසෙන්නේ.
ඔස්ට්රේලියාව ත්රස්තවාදී ප්රහාරයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන අතර පසුගිය සති කිහිපය තුළ ත්රස්ත විරෝධී වැටලීම් ද සිදු කර තිබේ.
ඇමරිකාවේ නායකත්වයෙන් ඉරාකයේ සහ සිරියාවේ සිදුකෙරෙන යුද මෙහෙයුම් පිළිබඳව දැඩි මතධාරී ඉස්ලාම් කණ්ඩායමක් වන හිස්බු-අට්-තහ්රිර් සංවිධානය විසින් සිකුරාදා සිඩ්නි නගරයේ දී ප්රසිද්ධ දේශනයක් පැවැත්වීමට සැළසුම් කර තිබියදී ය අගමැතිවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ.























