සංක්‍රමණිකයන් තුන්සිය පනහක් හාමතේ

Published

මුහුද හරහා නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කළ ආසියානු සංක්‍රමණිකයන් තුන්සිය පනස් දෙනෙකු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ.

ආහාර හෝ පානීය ජලය නොමැතිව සිව් දිනක් පුරා මුහුද හරහා ගමන් කරමින් සිටින මෙම සංක්‍රමණික කණ්ඩායමේ දරුවන් අසූවකට අධික ප්‍රමාණයක් සිටින බවයි වාර්තා වන්නේ.

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුව සමග පණිවුඩ හුවමාරු කළ පුණ්‍ය ආයතනයක් කියා සිටියේ සංක්‍රමණිකයන්ගෙන් බොහෝ දෙනෙකු රෝගාතුර වී ඇති බවයි.

රෝහින්ග්‍යා ජන සමූහයට අයත් මෙම සංක්‍රමණිකයන් මියන්මාරයේ සිට පැමිණ තිබෙන අතර, බෝට්ටුව පැදවූ නාවිකයන් පසු ගිය ඉරිදා මෙම කණ්ඩායම අත්හැර ගිය බවයි වාර්තා වන්නේ.

මේ අතර බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන් කියා සිටියේ දැනට පවතින යුරෝපා සංගමයේ ප්‍රතිපත්තිය මධ්‍යධරණී මුහුද හරහා පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය ඉහළ යාමට උපකාරී වන බවයි.

යුරෝපා සංගමයේ විදේශ කටයුතු සම්බන්ධයෙන් පෙනී සිටින බලධාරිනියක වන ෆෙඩ්රිකා මොග්හෙරීනි විසින් බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කළ එම තර්කය බිඳ දමා තිබේ.

ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යවරිය කියා සිටියේ ෆෙඩ්රිකා මොග්හෙරීනි විසින් යුරෝපා සංගමය අමතමින් කළ කතාවේ සඳහන් වන පරිදි සංක්‍රමණිකයන් ඔවුන්ගේ කැමැත්තට විරුද්ධව නැවත සිය රට වලට හරවා යැවීම නොකළ යුතුයි යන්නට තමා එකඟ නොවන බවයි.

මෙම අදහසට විරෝධය දක්වමින් ෆෙඩ්රිකා මොග්හෙරීනි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සිය යෝජනාව අදාළ වන්නේ දේශපාලන රැකවරණය පතා පැමිණෙන්නන් පමණක් වන අතර ආර්ථික වාසි පතා පැමිණෙන්නන් නොවන බවයි.