FIFA දූෂණ හෙළිවන ලකුණු

හිටපු නියෝජ්‍ය සභාපති ජැක් වෝනර්
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු නියෝජ්‍ය සභාපති ජැක් වෝනර්
Published

වංචා සහ දුෂණ පිළිබඳව තමා දන්නා සියලු දේ හෙළිදරව් කරන බව ලෝක පාපන්දු සම්මේලනයේ හිටපු නියෝජ්‍ය සභාපති ජැක් වෝනර් පවසයි.

තම ජීවිතයට හානියක් විය හැකි බවට බියක් පැවතුනද මින් ඉදිරියට මුනිවත නොරකින බවයි රුපවාහිනී වැඩසටහනක් ඔස්සේ ඔහු ප්‍රකාශ කළේ.

වංචා සහ කළු සල්ලි ජාවාරම් වල නිරත වීමේ චෝදනාව මත ලෝක පාපන්දු සම්මේලනයේ (FIFA) විධායක නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරනු ලැබ ඇති අතර FIFA හිටපු නියෝජ්‍ය සභාපති ජැක් වෝනර් ද ඒ අතර සිටියි.

FIFA මුදල් හුවමාරු පිළිබඳව තොරතුරු සහිත ලිය කියවිලි තම නීතීඥයන්ට ලබා දී ඇති බවත් එම ගනුදෙනුවලට තමාගේ සම්බන්ධතාවය මෙන්ම ඉල්ලා අස්වන බවට ප්‍රකාශයක් නිකුත් කළ සභාපති සෙප් බ්ලැටර් ගේ සබඳතා පවා සඳහන් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

තමා කිසිදු වරදක් කර නොමැති බව සභාපති සෙප් බ්ලැටර් ප්‍රකාශ කරයි.

චක් බ්ලේසර්
ඡායාරූප ශීර්ෂ වැකිය, චක් බ්ලේසර්

මේ අතර තුර, 2010 දී ලෝක පාපන්දු තරඟාවලිය පැවැත්වීම සඳහා දකුණු අප්‍රිකාවට වරම් ලබා දීම වෙනුවෙන් තමා සහ FIFA විධායක සභාවේ අනෙකුත් සාමාජිකයන් අල්ලස් ලබා ගත් බව එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන චක් බ්ලේසර් පිළිගෙන තිබේ.