අභියාචනා මැද ශෆ්කත් හුසේන් එල්ලා මරා දැමෙයි

ඡායාරූප මූලාශ්රය, AFP
දෙදහස් දාහතර වසරේදී දරුවකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශෆ්කත් හුසේන් පාකිස්තානයේදී එල්ලා මරා දමා තිබේ.
ඔහු එල්ලා මරා දැමුණේ ජාත්යන්තර මානව හිමිකම් සංවිධාන විසින් ඉදිරිපත් කළ අභියාචනා නොසලකා හරිමින්.
වරදකරු බව තීන්දු කෙරෙන විට ශෆ්කත් හුසේන් දාහතර වන වියේ පසු වූ බව පවසන ඔහුගේ නීතිඥයින් කියා සිටියේ වද බන්ධනයන්ට ලක් කොට ඔහුගෙන් බලහත්කාරයෙන් පාපොච්චාරණ ලබා ගෙන ඇති බවයි.
නමුත් වරදකරු බවට තීන්දු වන අවස්ථාවේ ඔහු දාහතර වන වියේ පසු වූ බවට කිසිඳු සාක්ෂියක් නමැති බව පාකිස්තාන බලධාරීහු පවසති.
එල්ලා මරා දැමීමට පෙර ශෆ්කත් හුසේන් අවසන් වතාවට සිය පවුලේ ඥාතීන් හමු වූ අතර අලුයම ගත වී මඳ පසු කරච්චි නුවර පිහිටි බන්ධනාගාරයකදී ඔහු එල්ලා මරා දමනු ලැබීය.
නෛතික කරුණු හා සම්බන්ධ අභියෝගයන් හමුවේ ඔහු එල්ලා මරා දමනු ලැබීම මේ වසර තුළ සිව් වරක් කල් තැබිණි.

කල් තැබීම්, නෛතික අභියෝගයන් සහ එල්ල වූ දැඩි බලපෑම් මධ්යයේ ශෆ්කත් හුසේන්ට සමාව ලබා ගැනීම සඳහා ඉදිරිපත් වූ අභියාචනයන් අවසානයේදී ප්රතික්ෂේප විය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පාකිස්තානයේ පෙෂාවර් ප්රදේශයේ පහිටි පාසලකට එල්ල වූ තාලිබාන් ප්රහාරයෙන් දරුවන් සහ ගුරුවරුන් ඇතුළු එකසිය පනස් දෙනෙකුට අධික පිරිසක් මරුමුවට පත් වීමත් සමග වරදකරුවන් වෙත තාවකාලිකව අත්හිටුවා තිබූ මරණ දඬුවම නැවත ක්රියාත්මක කිරීමට පාකිස්තාන ආණ්ඩුව ක්රියා කළේය.
වරදකරුවන්ට මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් ජනතා කැමැත්ත හිමි වන රටවල් අතරට පාකිස්තානයද එක් වේ.
‘ඇසට ඇසක්’ යන ඉස්ලාමීය සංකල්පය මත හිඳ බලන කල මරණ දඬුවම ලබා දීම පාකිස්තානය තුළ බොහෝ විට සාධාරණීකරණය කෙරෙයි.
මෙම ළමා ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුළු ජාත්යන්තර මානව හිමිකම් සංවිධානවල මැදිහත්වීම ශාෆ්කත් ඛාන්ට මරණ දඬුවම ලබා දීම සිව් වරක් කල් තැබීමට රුකුලක් විය.
මරණ දඬුවමට නියම වූ සිරකරුවන් වැඩිම සංඛ්යාවක් සිටින රට පාකිස්තානයයි.
මරණ දඬුවමට නියම කොට බන්ධනාගාරගතව සිටින පිරිස අටදහසකට අධික බවයි විශ්වාස කෙරෙන්නේ.



























