'චියෙටා' ට අලුත් හොටයක්

Published

මේ හොට බද්ධ කළ 'ටව්කාවා' කුරුල්ලෙක්. නම චියෙටා.

දකුණු ඇමරිකාවේ වෙසෙන කොට්ටෝරුවකුට සමාන විශාල හොටක් සහිත කුරුල්ලෙක්.

මේ පක්ෂියාට අහිමි වූ හොටේ උඩ කොටස යළි ලැබුණේ අලුත්ම සොයා ගැනීමක ප්‍රතිඵලයක් වශයෙන්.

හොටේ එම කොටස සකස් කොට ඇත්තේ 3D මුද්‍රණ තාක්ෂණය මගින්.

3D මුද්‍රණ තාක්ෂණය යනු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ත්‍රිමාණ මුද්‍රණ ක්‍රම වේදයන් මගින් බඩු භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි.

බ්‍රසීලයේ, රියෝ ද ජනයිරෝ වෙළෙඳ පොලක අලවි කිරීමට සිටි මෙම පක්ෂියාට සත්ව ජාවාරම් කරුවන් විසින් හිරි හැර කිරීම හේතුවෙනුයි හොටේ උඩ කොටස අහිමි වුණේ.

3D මුද්‍රණ තාක්ෂණය මගින් කෘතීම බද්ධ කිරීම සම්බන්ධීකරණ කරන ලද්දේ බ්‍රසීලයේ විශ්ව විද්‍යාල තුනක සහයෝගය ඇතිව එරට වනජීවී අහිකාරිය වන විඩා ලිව්රි ආයතනය මගින්.

ප්ලාස්ටික් වලින් නිමවූ හොටේ කොටසේ බර ග්‍රෑම් 4 ක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්ලාස්ටික් වලින් නිමවූ හොටේ කොටසේ බර ග්‍රෑම් 4 ක්

කෘතීම හොට සකස් කොට ඇත්තේ නියපොතු ඔප දැමීමට ගන්නා ආලේපන වලින් සමන්විත ප්ලාස්ටික් තට්ටුවකින්.

ටව්කාවා ඉකුත් මාර්තු මාසයේදී බේරා ගන්නා විට හොටේ කොටසක් නොමැතිකම හේතුවෙන් ආහාර නොගෙන මන්ද පෝෂණයෙන් පෙළෙමින් සිටි බව විඩා ලිව්රි ආයතනයේ ඩසියානා ෂර්ලොක් පැවසුවාය.

නීති විරෝධී ලෙස අලෙවි කරන විට ටව්කාවා පවුම් 3180 කට පමණ විකිණෙන බවයි ඇය ප්‍රකාශ කළේ.