'පැන්ටෝම්' හින්දි චිත්‍රපටය මතභේදයට

Published

දේශ සීමා රහිත වෛද්‍යවරු සංවිධානය (MSF) පවසන්නේ ගැටුම් ඇති ප්‍රදේශ වල සේවය කරන සිය කාර්යය මණ්ඩලයේ ජීවිත අනතුරට පත් කළ නව හින්දි චිත්‍රපටයකට විරුද්ධව නෛතික පියවර ගැනීමට ක්‍රියා කරන බවයි.

MSF සංවිධානය පවසන්නේ 'පැන්ටෝම්' හින්දි චිත්‍රපටයේ සිය සංවිධානයේ සාත්තු සේවිකාවකට සමාන චරිතයක් නිරූපණය කරන රංගන ශිල්පිනියක් අවි ආයුධ භාවිතා කරන තවත් උපකල්පිත සංවිධානයක් සමග එකතුව ප්‍රචණ්ඩ ලෙස හැසිරීමෙන් සිය සංවිධානයේ සාමාජිකයන්ගේ ප්‍රතිරූපයට දැඩි හානි පමුණුවන බවයි.

දේශ සීමා රහිත වෛද්‍යවරු සංවිධානය (MSF)
ඡායාරූප ශීර්ෂ වැකිය, දේශ සීමා රහිත වෛද්‍යවරු සංවිධානය (MSF)

එම සංවිධානය වැඩි දුරටත් කියා සිටින්නේ දේශ සීමා රහිතව වෛද්‍ය සේවා පහසුකම් සපයමින් සේවයේ යෙදෙන සිය සාත්තු සේවකයින් කිසි විටෙක අවි ආයුධ අතට නොගන්නා බවයි.

මධ්‍යස්ථව කටයුතු කිරීම වෙනුවෙන් සිය ආයතනය දිනාගෙන තිබෙන විශ්වාසය මත වෛද්‍ය සේවා සැපයීමට ඉඩදෙන ඇතැම් ප්‍රදේශ සහ සංවිධාන මෙම චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන ව්‍යාජ ප්‍රතිරූපය හමුවේ විශ්වාසය පලුදු වීම හේතුවෙන් සිය සංවිධානයේ වැඩ කටයුතු ඇනහිටීමට ඉඩ ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

'පැන්ටෝම්' හින්දි චිත්‍රපටය

ඉදිරිපත් වී ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරු තවමත් ප්‍රතිචාරයක් දක්වා නැත.

චිත්‍රපටයේ ඉන්දියානු සොල්දාදුවෙකුගේ චරිතයට පන පොවන ප්‍රවීණ රංගන ශිල්පී සයිෆ් අලි කාන් පකිස්තාන කැරලි කරුවන් විසින් 2008 මුම්බායි බෝම්බ ප්‍රහාරය සැලසුම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ගැටුම් ඇතිවන ප්‍රදේශයේ සාත්තු සේවිකාවකගේ චරිතය නිරුපනය කරන ඉන්දීය සහ බ්‍රිතාන්‍ය සම්භවයකින් යුතු රංගන ශිල්පිනියක් වන කත්‍රිනා කායිෆ් එම පරීක්ෂණයට සහය දැක්වීමට ඉදිරිපත් වන අතර ඇතැම් දර්ශන වල ඇය විසින් අවි ආයුධ භාවිතා කරමින් ප්‍රචන්ඩ ලෙසින් හැසිරෙන අයුරු දැක ගත හැකියි.

MSF ආයතනය පවසන්නේ මෙම වැරදි චිත්‍රය නිවැරදි කිරීමට අවශ්‍ය නෛතික පියවර ගැනීමට සිය සංවිධානය කටයුතු කරන බවයි.