සයුර නොදුටු තව කඳුළක්

Published

මහා සයුරට බිළි වූ සිව් හැවිරිදි සිරියානු දරුවාගේ අවමඟුල අද (04) ඔහුගේ ජන්ම භූමිය වන 'කොබානේ' නගරයේ දී සිදී කෙරුණි.

ග්‍රීසියේ ‘කොස්’දූපත ඔස්සේ තුර්කියට ගොස් එතැනින් කැනඩාව බලා යාමට සැලසුම් කළ සිරියානු පවුලේ අලාන් නමැති දරුවා ,ඔහුගේ සොහොයුරා සහ මව කුඩා බෝට්ටුව පෙරළීමෙන් මරණයට පත් වූ අතර තුර්කි වෙරලාරක්ෂකයකු අතට පත් බිලිඳු මෘත දේහය සහිත ඡායාරූපය සමස්ත ලෝකය කම්පා වීමට හේතු විය.

දරුවාගේ පියා, සිය පවුල මුහුණ දුන් අතිශය ඛේදජනක අත්දැකීම බීබීසියට විස්තර කළේ සංවේදී ස්වරයෙන්.

තුර්කියේ සිට ග්‍රීසියේ කොස් දූපත බලා ආ ගමන රළ පහරින් ගහන වූවක් වූ බවයි අලාන් කුර්දි ගේ පියා අබ්දුල්ලා පැවසුවේ.

සිරියාවේ සිට පලා යන දහස් ගණන් සංක්‍රමණිකයන් අතරට එක්වූ අබ්දුල්ලාගේ පවුලත් බලාපොරොතු වුනේ වඩාත් හොඳ අනාගතයක්.

ඒත් අබ්දුල්ලාට ඉතිරිවී ඇත්තේ අලාන් , සහ ගලිප් දරු දෙදෙනා සහ බිරිඳ රෙහෙනා ගේ අතීත මතකය පමණයි.

විසඳුමක් නැහැ

යුද්ධයෙන් බේරී කෙම්බිමක් සොයා යන අනාථයන්ගේ තත්වය මොහෙතෙන් මොහොත කනගාටුදායක අතට හැරෙමින් ඇතත් මේ අර්බුදය සම්බන්ධයෙන් පොදු මූලෝපායී සැලැස්මකට එකඟ වීම අතින් යුරෝපා හවුලේ සාමාජික රටවල් අරගලයක පැටලී සිටින බවකුයි පෙනී යන්නේ.

අනාථයන් සඳහා එක්සත් ජාතීන්ගේ කොමසාරිස් අන්තෝනියෝ ගටරෙස්(Guterres, ) ප්‍රකාශයක් කරමින්, දෙලක්ෂයක් පමණ වූ අනාථයන් භාර ගන්නා මෙන් යුරෝපා රට වලින් ඉල්ලා සිටියේය .

කොමසාරිස් වරයා වැඩි දුරටත් කියා සිටියේ, අක්‍රමවත් කඩින්කඩ කෙරෙන පැලැස්තර මගින් මෙම අර්බුදයට විසඳුමක් නොමැති බවයි.