මියන්මාරය: ජයග්‍රහණය ගැන විපක්ෂයට දැඩි විශ්වාසයක්

Published

ඊයේ පැවති මැතිවරණයෙන් තම පක්ෂය ජය ගන්නා බව මියන්මාරයේ විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය පවසයි.

මුළු ආසන සංඛ්‍යාවෙන් සියයට 70 ක් තම පක්ෂය ලබා ගන්නා බව විපක්ෂයේ ප්‍රකාශක පැවසු අතර විපක්ෂ නායිකා අවුන් සාන් සුචී කියා සිටියේ මේ වන විට මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව සියළු දෙනා දැනුවත් වී සිටින බව තමා ගේ විශ්වාසය බවයි.

විපක්ෂ නායිකා අවුන් සාන් සුචී
ඡායාරූප ශීර්ෂ වැකිය, විපක්ෂ නායිකා අවුන් සාන් සුචී

කෙසේ වෙතත් මේ වන විට නිකුත් වී ඇත්තේ ආසන දොළහක ප්‍රතිඵල පමණි. එම ආසන දොළහම ජය ගෙන ඇත්තේ විපක්ෂයයි.

2011 පටන් මියන්මාරයේ පාලනය හිමි කර ගෙන සිටියේ හමුදා සහය ලබන එක්සත් සහයෝගිතා වර්ධන පක්ෂය යි. (USDP)

ඊට පෙර මියන්මාරයේ පැවතියේ හමුදා පාලනයකි.

ඡන්ද ප්‍රතිඵලය කෙසේ වෙතත් රටේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ මුළු ආසන සංඛ්‍යාවෙන් සියයට 25 ක් මියන්මාරයේ හමුදාවට වෙන් කර ඇත.

එම නිසා පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කර ගැනීමට නම් විපක්ෂයට අඩු තරමින් තුනෙන් දෙකක බලයක් හිමි විය යුතුයි.

විපක්ෂයට බලය හිමි වුවත් රටේ ව්‍යවස්ථාවට අනුව අවුන් සාන් සුචී ට ජනාධිපති පදවියට පත් විය නොහැකියි.

තම පවුලේ සාමාජිකයෙකු හෝ වෙනත් රටක පුරවැසි භාවය ලබා ඇත්නම් ඔහු හෝ ඇය මියන්මාරයේ ජනාධිපති පදවියට පත් කිරීම ව්‍යවස්ථාවෙන් තහනම් කර තිබේ.

විපක්ෂ නායිකා අවුන් සාන් සුචීගේ සැමියා සහ පුතුන් බ්‍රිතාන්‍ය පුරවැසියෝ වෙති.